ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය සහ එහි අනාගත සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කිරීමට ලැබීම තමන් ලැබූ සුවිශේෂී වරප්‍රසාදයක් බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ජෙයි ෂා මහතා පවසයි. ජනාධිපතිවරයා සමඟ පැවැති නිල හමුවෙන් අනතුරුව සිය නිල X (ට්විටර්) ගිණුමේ විශේෂ සටහනක් තබමින් ICC සභාපතිවරයා සඳහන් කළේ, ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක් බවයි. ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර තරඟාවලි සඳහා සත්කාරකත්වය සැපයීමේදී සහ ක්‍රීඩාවේ ගෝලීය සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන අඛණ්ඩ දායකත්වය බෙහෙවින් අගය කළ ඒ මහතා, මෙම සාකච්ඡාවේදී නැගී එන ක්‍රීඩකයින් සඳහා අවස්ථා පුළුල් කිරීම, බිම් මට්ටමේ සහ තරුණ ක්‍රිකට් සංවර්ධන වැඩසටහන් ශක්තිමත් කිරීම මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව සමාජයීය හා ආර්ථික වර්ධනයේ මෙවලමක් ලෙස භාවිත කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු වූ බව ද කියා සිටියේය. අනාගත පරපුර වෙනුවෙන් ක්‍රීඩාව තවදුරටත් ශක්තිමත් කිරීමට මෙරට සියලුම පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව පැවසූ ජෙයි ෂා මහතා, ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ජනාධිපතිවරයා දක්වන නොසැලෙන සහයෝගය පිළිබඳව ද සිය හෘදයාංගම ස්තූතිය පුද කර තිබේ.
















