27 April 2024
#දේශීය

බැසිල්ගේ ඇමෙරිකාවේ දේපල හෙළිදරව් කරනවා – මන්ත්‍රී විමල්

බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ එක්රැස් කරගෙන තිබෙන දේපළ ලැයිස්තුව මේ රටට ඉදිරියේදී හෙළිදරව් කරන බව උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය 27 වනදා කොළඹ කොටුව ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී පැවති නිදහස් ජනතා සන්ධානයේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය සහ නිල තේමා පාඨය ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ අදහස් පල කලේය “ ඒ නිසා තමයි ආණ්ඩුව විවිධ උත්සාහයන් දැරුවත් නොවැළැක්විය හැකි ලෙස මාර්තු 9 වනදා පැවැත්වීමට නියමිතව තිබෙන පළාත් පාලන මැතිවරණයේදී ‘මේ පරපුටු, අසමත් පාලනයට තවදුරටත් පාර්ලිමේන්තුවේ බලය හෙබවීමට සදාචාරාත්මක අයිතියක් නැහැ’ කියලා පෙන්විය යුත්තේ. එම ඡන්දයේදී අපි අනිවාර්යයෙන් කළ යුතු දේවල් දෙකක් තිබෙනවා. එකක් තමයි පොහොට්ටුව බිංදුවට වට්ටන එක, අනෙක පවුල් පාලනයේ ක්‍රියාන්විතය එතැනින්ම නතර කරන එක. අදටත් පොහොට්ටුව මෙහෙයවමින් සිටින බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ එක්රැස් කරගෙන තිබෙන දේපළ ලැයිස්තුව අපි මේ රටට ඉදිරියේදී හෙළිදරව් කරන බවත් මේ මොහොතේ දී කියන්න ඕනේ. අපි සියලුදෙනාම එකට එකතු වෙලා කඩිනමින් මේ සන්ධානය හැදුවේ, මාර්තු 09 වැනිදා සිට ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාස කතාවේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරන්නයි. ඒ වගේම හොරකමින්, නාස්තියෙන් තොර, විරැකියාවෙන් පීඩා විඳින දරුවන්ට රැකියා ලබාදෙන, මේ රටේ යම් බිඳවැටීමකට ලක්ව තිබෙන නිදහස් සෞඛ්‍ය සේවාව සහ නිදහස් අධ්‍යාපනය නඟාසිටුවන අලුත් පරිච්ඡේදය ආරම්භ වන්නේ නිදහස් ජනතා සන්ධානය මතින් පමණයි කියන එක අවධාරණය කරනවා. ඒ නිසා ‘හෙලිකොප්ටරය’ සමග එකට එකතු වෙලා මේ නව බලාපොරොත්තුව සඵල කිරීමට රොද බැඳ ගන්න කියා ජනතාවට ඇරයුම් කරනවා. යැයි මන්ත්‍රී විමල් වීරවංශ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට ජනජය පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, නිදහස ජනතා සභාවේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී. එල්. පිරිස්, උත්තර ලංකා සභාගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා යන නිදහස් ජනතා සන්ධානයේ විධායක සභිකවරු සහභාගි වුහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *