යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ ජනතා අයිතිවාසිකම්වලට බරපතළ හානියක් සිදුවන බැවින්, ඊට එරෙහිව ප්‍රතිපත්තිමය ස්ථාවරයක සිටිමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
2026 දෙසැම්බර් 1 වැනිදා ධුර කාලය අවසන් වීමට නියමිත වත්මන් අගවිනිසුරුවරයාගේ ධුර කාලය දීර්ඝ කිරීමේ අරමුණින් මෙම සංශෝධනය කඩිනමින් ගෙන එන බවට පුළුල් මතයක් පවතින බවත්, පනත සම්මත වුවහොත් එහි පළමු ප්‍රතිලාභියා වන්නේ ද අගවිනිසුරුවරයා බවත් නීතිඥ සංගමය පෙන්වා දෙයි. මේ අතර අධිකරණය සහ නීතිඥ සංගමය ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය සහ පාර්ලිමේන්තුව තුළ එල්ල වන පදනම් විරහිත පුද්ගලික ප්‍රහාර හෙළා දකින එම සංගමය, අධිකරණය වගවීමට යටත් විය යුතු නමුත් යම් විනිසුරුවරයෙකුට එරෙහිව චෝදනා ඇත්නම් ඒවා තහවුරු නොකළ පද පරද පාදක කර නොගෙන ව්‍යවස්ථානුකූල සහ පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටීන්ට අනුව විමර්ශනය කළ යුතු බව අවධාරණය කරයි.
















