පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ ඒච්.ඒ.පී.ටී.සී. හෙට්ටිආරච්චි නැමැත්තා සේවයෙන් නෙරපා හැරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා කටයුතු කර තිබෙන බව වාර්තා වේ.
මෙම කථිකාචාර්යවරයා ශාස්ත්‍රපති (MA) උපාධිය හැදෑරීම සඳහා “ෆුල්බ්‍රයිට්” ශිෂ්‍යත්වයක් ලබා ඇමෙරිකා එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත්ව ඇති අතර, ඔහුට ලබාදුන් අධ්‍යයන නිවාඩු කාලය 2026 ජූලි මස 10 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණි. ඒ අනුව අදාළ පුද්ගලයා ඊට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවයට වාර්තා කළ යුතු වුවද, එසේ නියමිත පරිදි සේවයට වාර්තා කිරීමට අසමත්වීම හේතුවෙන් 2026-07-10 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු තනතුර අත්හැර ගිය අයෙකු (VoP) ලෙස සලකනු ලැබ තිබේ.
මෙම කථිකාචාර්යවරයා පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමඟ ඇති කරගත් ගිවිසුම් ප්‍රකාරව රුපියල් 11,768,606.79 ක මුදලක් විශ්වවිද්‍යාලයට ගෙවීමට බැඳී සිටින අතර, ඒ සඳහා වන ඇපකරයේ වටිනාකම රුපියල් 11,676,527.79 කි. මෙම සම්පූර්ණ මුදල 2026 නොවැම්බර් 11 දින හෝ ඊට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මූල්‍යාධිකාරී (Bursar) වෙත මහජන බැංකුව හරහා බැංකු අණකරයකින් (Bank Draft) ගෙවිය යුතු වන බවද ඔහුගේ සේවය හැරයාමේ ලිපියේ සඳහන් කර ඇත.
නියමිත දිනට මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත් ඔහුට සහ ඔහුගේ ඇපකරුවන් දෙදෙනාට (Sureties) එරෙහිව පූර්ව දැනුම්දීමකින් තොරව නීතිමය පියවර ගන්නා බවද අදාළ ලිපිය මගින් අවධාරණය කර ඇති අතර, ඊට අදාළව ඔහුගේ විශ්වවිද්‍යාල සේවක අර්ථසාධක අරමුදල් (UPF) ගිණුම 2026-07-10 දින සිට අත්හිටුවීමට පියවර ගෙන ඇත.
වාර්තා වන තොරතුරුවලට අනුව මෙම පුද්ගලයා ඇමෙරිකාවේදී ළමා අපචාර චෝදනාවලට ලක්ව මේ වන විට ලුසියානා ප්‍රාන්තයේ බන්ධනාගාරගත කර තිබෙන අතර, ඔහුට නියමිත දිනට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වී ඇත්තේද එසේ බන්ධනාගාරගතව සිටීම හේතුවෙනි.
ඔහුගේ සමීපතමයින් මෙරටට වාර්තා කළ යුතු දිනට පෙර ඔහු නිදහස් කර ගැනීමට විවිධ පියවර ගෙන ඇති නමුත්, ඒ සියලු උත්සාහයන් අසාර්ථක වී තිබෙන බවද වාර්තා වේ.
















