මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ බවට එල්ල වූ චෝදනා මත මඩකලපුව නගරයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයකට ඊයේ (16) පස්වරුවේ මුද්‍රා තබා තිබේ. මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුව මෙම හෝටලය සති දෙකක කාලයක් වසා තැබීමට පියවර ගෙන ඇති අතර, හෝටල් හිමිකරුට රුපියල් 50,000ක දඩ මුදලක් ද නියම කර ඇත.
ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා බලධාරීන්ගේ උපදෙස් මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී මෙම අපිරිසිදු ආහාර සොයාගෙන තිබේ. විශේෂත්වය වන්නේ මෙම හෝටලය මීට පෙර අවස්ථා දෙකකදී ද මෙවැනිම දූෂිත ආහාර අලෙවි කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරදකරු වී අවවාද ලබා තිබූ ස්ථානයක් වීමයි. පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි වැටලීම් ඉදිරියටත් දැඩිව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය බලධාරීහු අවධාරණය කරති.














