‘බාවි’ (Bavi) නමැති ප්‍රබල සුළි කුණාටුව ජපානයට සහ තායිවානයට දැඩි බලපෑම් එල්ල කිරීමෙන් අනතුරුව, මිලියන දෙකකට ආසන්න ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කරමින් චීනයේ නැගෙනහිර වෙරළබඩ නගරයක් වන තායිෂෝව් (Taizhou) වෙත සෙනසුරාදා රාත්‍රියේ කඩා වැදී තිබේ. චීන ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයට අනුව, මෙම සුළි කුණාටුව එරට වේලාවෙන් රාත්‍රී 11.20 ට පමණ වෙරළ තීරයට ඇතුළු වන විට පැයට කිලෝමීටර් 144 ක (සැෆීර්-සිම්ප්සන් පරිමාණයට අනුව 1 වන කාණ්ඩයේ) උපරිම වේගයකින් යුත් සුළං වාර්තා වී ඇත. චීන බලධාරීන් විසින් ෂේජියැන්ග් ප්‍රාන්තයෙන් පමණක් මිලියන 1.7 කට අධික පිරිසක් ඉවත් කර ඇති අතර, අසල්වැසි ෆුජියෑන් ප්‍රාන්තය, බීජිං සහ ෂැංහයි යන නගරවලින්ද තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබේ.
මෙම සුළි කුණාටුව වයඹ දෙසට ගමන් කරමින් ක්‍රමයෙන් දුර්වල වෙමින් පැවතියද, එහි ගැබ්ව ඇති දැවැන්ත වැසි වලාකුළු ප්‍රමාණය හේතුවෙන් ඉදිරියේදී දැඩි ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ අංශ අනතුරු අඟවයි. බාවි සුළි කුණාටුවේ සෘජු බලපෑමෙන් ජපානයෙන් හෝ තායිවානයෙන් මෙතෙක් ජීවිත හානි වාර්තා වී නොමැති වුවද, තායිවානයේ ගුවන් ගමන් 1200 කට අධික ප්‍රමාණයක් අවලංගු කිරීමට සිදුවූ අතර පුද්ගලයන් 113 දෙනෙකු තුවාල ලබා ඇත. කෙසේ වෙතත්, මෙම සුළි කුණාටුව හේතුවෙන් සක්‍රීය වූ නිරිතදිග මෝසම් බලපෑම නිසා පිලිපීනයට ඇද හැළුණු මහා වර්ෂාවෙන් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
















