අමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයකු වන රෝ ඛන්නා (Ro Khanna) ඇතුළු පිරිසක් පලස්තීනයේ බටහිර ඉවුරේ (West Bank) සංචාරයක නිරත වෙමින් සිටියදී, අමෙරිකාවේ නිෂ්පාදිත ගිනිඅවිවලින් සන්නද්ධ වූ ඊශ්‍රායල පදිංචිකරුවන් (Israeli settlers) පිරිසකගේ බලහත්කාරී රඳවා තබා ගැනීමට ලක්ව තිබේ. කැලිෆෝනියා ප්‍රාන්තය නියෝජනය කරන මෙම ප්‍රගතිශීලී කොංග්‍රස් මණ්ඩල මන්ත්‍රීවරයා 2028 වසරේ පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අපේක්ෂාවෙන් පසුවන අයෙකි. ඊශ්‍රායල ආක්‍රමණය හේතුවෙන් පලස්තීන වැසියන් මුහුණ දෙන සැබෑ තත්ත්වය සියසින් දැක බලා ගැනීම සඳහා ඔහු මෙම තෙදින සංචාරය සංවිධානය කර තිබුණි.
රොයිටර් පුවත් සේවය සමඟ අදහස් දක්වමින් රෝ ඛන්නා මන්ත්‍රීවරයා පවසා ඇත්තේ, ඊශ්‍රායල පදිංචිකරුවන් විසින් මීට පෙර විනාශ කරන ලද පාසලක් සහ ගම්මානයක් නිරීක්ෂණය කරමින් සිටියදී එම්-4 (M4) වර්ගයේ අමෙරිකානු මැෂින් තුවක්කු අතැතිව පැමිණි පිරිසක් තමන් ගමන් ගත් රථය වටකර මාර්ගය අවහිර කළ බවයි. එහිදී තමන් ඇතුළු පිරිස පැමිනුමකට අධික කාලයක් එලෙස රඳවා තබා ගත් බවත්, පසුව ඊශ්‍රායල ආරක්ෂක බලකායන් (IDF) පැමිණියද ඔවුන් ක්‍රියා කළේ අමෙරිකානු නියෝජිතයන් වෙනුවෙන් නොව අදාළ සන්නද්ධ පිරිස වෙනුවෙන් බවත් ඔහු චෝදනා කළේය. පසුව ජෙරුසලමේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ සහාය ඉල්ලා සිටීමෙන් අනතුරුව, මැදිහත් වූ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් තමන් ඇතුළු පිරිස මුදාගත් බව මන්ත්‍රීවරයාගේ සහායකයකු ප්‍රකාශ කර තිබේ.
















