බෙංගාල බොක්කේ වයඹ දිග ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද (23) පෙරවරු 5.30 වන විට එම පද්ධතිය ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් කිලෝමීටර් 1,000ක් පමණ දුරින් පිහිටා තිබෙන බව සඳහන්.
එම පද්ධතියේ බලපෑම හේතුවෙන් බෙංගාල බොක්කේ මුහුදු ප්‍රදේශවල තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ක් දක්වා ඉහළ යා හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.
ඒ අනුව, නැවත දැනුම් දෙන තුරු උතුරු අක්ෂාංශ 7°ත් 22°ත් අතර සහ නැගෙනහිර දේශාංශ 83°ත් 95°ත් අතර මුහුදු ප්‍රදේශවලට යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී ඇති අතර, එම ප්‍රදේශවල සිටින පිරිස්වලට බලපෑමට ලක්වූ මුහුදු කලාපවලින් ඉවත් වන ලෙසද උපදෙස් ලබාදී තිබෙනවා.
මේ අතර, අද දිනයේ කන්කසන්තුරේ සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වූ මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරේ සහ මන්නාරම හරහා චිලාව් දක්වාත්, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා ඉහළ යා හැකි බවත් සඳහන්.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං සහ ඉතා රළු මුහුදු තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් අවධානයෙන් පසුවන ලෙසද දැනුම් දී තිබෙනවා.
















