අනුරාධපුර ප්‍රදේශයේ සිදුවූ බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ පැවැති සාකච්ඡාවක් වාර්තා කිරීම මුල් කරගනිමින්, බී.බී.සී. සිංහල සේවයේ මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව හමුවට කැඳවීමට ගෙන තිබූ තීරණය අත්හිටුවා තිබේ.
පල්ලේගම හේමරතන හිමියන්ට එල්ල වී ඇති ළමා අපචාර චෝදනාව සම්බන්ධයෙන් කෙරුණු එම වාර්තාකරණය පදනම් කරගෙන, බීබීසී සිංහල වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරක ඉෂාරා ධනසේකර සහ මාධ්‍යවේදී සම්පත් දිසානායක යන මහත්වරුන් ජූලි 23 වන දින කමිටුව හමුවට කැඳවා තිබිණි. කෙසේ වෙතත්, මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුව වෙත කැඳවීම සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රයම බියගැන්වීමට සහ වාරණය කිරීමට දැරූ උත්සාහයක් බව පෙන්වා දෙමින් අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය (IMA) දැඩි විරෝධය පළ කර තිබුණි.














