දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේවරයා වන තිලිණ මධුසංඛ මහතාට, විදේශගතව සැඟවී සිටින පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් (KPI) යැයි කියාගත් පුද්ගලයකු දුරකථනයෙන් කතා කර මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ විශේෂ අවධානය යොමුව තිබේ. මෙම සිදුවება මුල් කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන හඬපටයක් පිළිබඳව සොයා බලා වාර්තා කරන ලෙස පොලිස්පතිවරයා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට නියෝග කර ඇත.
දෙවුන්දර දේවාලයේ මහ පෙරහැරේදී පසුගිය වසරේ නර්තනයේ යෙදුණු සියලුම නර්තන කණ්ඩායම් ඉවත් නොකර, මෙවරත් ඔවුන්ට නර්තන කටයුතු සඳහා සහභාගි වීමට ඉඩ සලසන ලෙස බල කරමින් කංජිපානි ඉම්රාන් මෙම තර්ජනය එල්ල කර ඇත. එසේ නොමැති වුවහොත් ඊළඟ පෙරහැරේ බස්නායක නිලමේවරයා ජීවතුන් අතර නොසිටිනු ඇති බවත්, තෝරා බේරා නර්තන කණ්ඩායම් සහභාගි කරවා ගැනීමට උත්සාහ කළහොත් එය එතුමාගේ අවසාන පෙරහැර වනු ඇති බවත් අදාළ හඬපටයේ දැක්වේ.
කංජිපානි ඉම්රාන්ගේ මෙම තර්ජනයට ප්‍රතිචාර දක්වමින් දකුණේ පාතාල කල්ලි සාමාජිකයකු බව කියන ‘දෙහිබාලේ මල්ලී’ නමැත්තාද තවත් හඬපටයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ දේවාලවලට හෝ පෙරහැරට අත තැබීමට පැමිණියහොත් අදාළ පාර්ශ්වයන්ගේ දේපළවලට පහර දෙන බවත්, පුළුවන්නම් එවැනි දෙයක් කර වන ලෙසට අභියෝග කරමින් දහදෙනකුගේ වළවල් කපන්නට වන බවට තර්ජනය කර තිබේ.
මෙම පාතාල කල්ලි දෙකේ නායකයන් විසින් පෙරහැර මුල් කරගනිමින් එකිනෙකාට එරෙහිව හඬපට නිකුත් කිරීමත් සමඟ, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. ඒ අනුව, දෙවුන්දර විෂ්ණු දේවාලයේ පෙරහැර පැවැත්වෙන කාලය තුළ ඊට අවශ්‍ය විශේෂ ආරක්ෂාව තවදුරටත් තර කිරීමට පොලිසිය පියවර ගනිමින් සිටී.














