වසර ගණනාවක් පුරා සිදුවූ වේගවත් නාගරීකරණය හේතුවෙන් දැඩි ලෙස දූෂණයට ලක්ව ඇති බේරේ වැව යථා තත්ත්වයට පත් කිරීම සඳහා රාජ්‍ය මැදිහත්වීමට අමතරව මහජන සහයෝගය ද අත්‍යවශ්‍ය බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි. කොළඹ නගරයේ පදිංචිකරුවන්ට සහ නරඹන්නන්ට දැඩි අපහසුතාවක් මෙන්ම සෞඛ්‍ය ගැටලු රැසක් ඇති කරන බේරේ වැවේ දුර්ගන්ධය ඉවත් කර එය පිරිසිදු කිරීම සඳහා විශේෂ සංවර්ධන වැඩසටහනක් මේ වන විට ආරම්භ කර ඇත.
වසර ගණනාවක් පුරා අපජලය, ඝන අපද්‍රව්‍ය සහ කැළිකසළ වැවට බැහැර කිරීම නිසා වැව අභ්‍යන්තරයේ ඇල්ගී සහ සයනොබැක්ටීරියා වර්ධනය වී ඇති අතර, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව (SLLDC) සිදුකළ ජල ගුණාත්මක පරීක්ෂණවලදී නයිට්‍රජන්, පොස්පරස් සහ ඇමෝනියා මට්ටම් ඉහළ අගයක පවතින බව තහවුරු වී ඇත. මෙම ගැටලුවට විසඳුම් වශයෙන් දැනටමත් පාවෙන අපද්‍රව්‍ය ඉවත් කිරීම, ජලජ වල් පැලෑටි ඉවත් කිරීම, වැව් ඉවුරු පිරිසිදු කිරීම සහ දූෂණයට ප්‍රධාන මූලාශ්‍ර හඳුනාගැනීම ආරම්භ කර තිබේ. ඒ අතරම, වැවේ ජල ගමනාගමනය වැඩි දියුණු කිරීම සහ ජල ප්‍රවාහය ක්‍රමවත් කිරීම අරමුණු කරගනිමින් ගංගාරාම විහාරස්ථානය ආසන්නයේ මඩ ඉවත් කිරීමේ කටයුතු ද සිදු කෙරේ.
බේරේ වැව සහ අනෙකුත් ජල මාර්ග අපවිත්‍ර නොකර වගකීමෙන් අපද්‍රව්‍ය බැහැර කරන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා මහජනතාවගෙන් සහ ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී. රජයට පමණක් තනිවම මෙම වැව පිරිසිදු කළ නොහැකි බවත්, සැමදෙනා වගකීමෙන් ක්‍රියා කළහොත් පමණක් පිරිසිදු බේරේ වැවක් සහ හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගිය හැකි බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
















