එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස් අළු බඳුන තරගාවලියෙන් පසුව ක්‍රීඩා කළ ප්‍රථම ඉනිමේදීම ලකුණු 14කට දැවී ගොස් තිබේ. වෝර්සෙස්ටර්ෂයර් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම ප්‍රාන්ත තරගයේ දෙවන දිනයේදී ඔහු මුහුණ දුන් 17 වන පන්දුවේදීම දැවී ගියේ 20 හැවිරිදි තරුණ වේග පන්දු යවන්නෙකු වන ජැක් හෝම් හමුවේයි. ආබාධ රැසකින් පසුව නැවතත් ලකුණු අතරට පිවිසීමට උත්සාහ කරන ස්ටෝක්ස් හට මෙම ඉනිම එතරම් සාර්ථක එකක් නොවූ අතර ඔහු ලබාගත් ලකුණු 14 සඳහා අලංකාර හතරේ පහර දෙකක් ඇතුළත් විය.
වෝර්සෙස්ටර්ෂයර් කණ්ඩායම සිය ප්‍රථම ඉනිම සඳහා ලකුණු 308ක් රැස් කළ අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ජැක් හෝම් නොදැවී ලකුණු 63ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී බෙන් ස්ටෝක්ස් ලකුණු 54කට කඩුලු 2ක් දවාගත් අතර බෙස් රේන් ලකුණු 63කට කඩුලු 5ක් බිඳ හෙලුවේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඩර්හැම් කණ්ඩායම දෙවන දිනය නිමා වන විට කඩුලු 6ක් දැවී ලකුණු 207ක් ලබා සිටි අතර එහිදී ඩේවිඩ් බෙඩිංහැම් ලකුණු 83ක් රැස් කරමින් සිය කණ්ඩායමට ශක්තියක් විය.
ලබන ජුනි 04 වනදා නවසීලන්තය සමඟ ආරම්භ වන ප්‍රථම ටෙස්ට් තරගයට පෙර සිය සුපුරුදු දක්ෂතා අතරට පිවිසීම ස්ටෝක්ස්ගේ ප්‍රධාන අරමුණ වී තිබේ. මෙම තරගයේ දෙවන ඉනිමේදී නැවතත් පිත්තෙන් දස්කම් දැක්වීමට ඔහුට අවස්ථාව හිමිවන අතර ලබන සතියේදී කෙන්ට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයට ද ඔහු සහභාගී වීමට නියමිතය. එංගලන්ත නායකයාගේ මෙම නැවත පැමිණීම එරට ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ දැඩි අවධානයට ලක්ව ඇති අතර ඔහු සිය පූර්ණ ශාරීරික යෝග්‍යතාවය තහවුරු කර ගැනීම එළඹෙන ජාත්‍යන්තර තරගාවලි සඳහා අතිශය තීරණාත්මක වනු ඇත.














