හංගේරියාවේ දීර්ඝකාලීන පාලකයාව සිටි වික්ටර් ඕර්බන් පරාජයට පත් කරමින් මධ්‍ය-දකුණේ නායක පීටර් මැග්යාර් ඊයේ (09) එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස නිල වශයෙන් දිවුරුම් දෙන ලදී. අප්‍රේල් 12 වනදා පැවැති මැතිවරණයෙන් අතිවිශාල ජයග්‍රහණයක් ලබාගත් මැග්යාර්ගේ ‘ටිසා’ (Tisza) පක්ෂය, එරට ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අවශ්‍ය බහුතර බලය ද හිමිකරගෙන තිබේ. වසර ගණනාවක් පුරා පැවති ආර්ථික පසුබෑම සහ බටහිර මිත්‍ර රටවල් සමඟ පලුදු වී තිබූ සබඳතා යළි ගොඩනැගීමටත්, දූෂණය පිටුදැකීමටත් මැග්යාර් මෙහිදී දැඩිව පොරොන්දු විය.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස මැග්යාර්ට මුහුණ දීමට ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ පෙර රජය විසින් අත්හිටුවා තිබූ යුරෝපා සංගමයේ ආධාර මුදල් යළි ලබා ගැනීමයි. ඕර්බන් පාලන සමයේදී සිදුවූ බව කියන ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රතිසංස්කරණ හේතුවෙන් මෙම ආධාර අත්හිටුවා තිබූ අතර, එළඹෙන මැයි 25 වනදාට පෙර එම අරමුදල් ලබා ගැනීමට අවශ්‍ය සාකච්ඡා සාර්ථක කර ගැනීම ඔහුගේ ඉලක්කය වී තිබේ. ඔහු පෙන්වා දෙන්නේ හංගේරියාවේ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමටත්, පවතින ක්‍රමය මුළුමනින්ම වෙනස් කිරීමටත් ජනතාව තමන්ට වරමක් ලබා දී ඇති බවයි.
මැග්යාර්ගේ ජයග්‍රහණයත් සමඟ හංගේරියානු මුදල් ඒකකය වන ‘ෆොරින්ට්’ (Forint) යුරෝවට සාපේක්ෂව වසර හතරකට පසු උපරිම අගය වාර්තා කර ඇති අතර විදේශ ආයෝජකයින් ද මෙම වෙනස සුබවාදීව පිළිගෙන තිබේ. රුසියාවට හිතවාදී පිළිවෙතක් අනුගමනය කළ ඕර්බන් මෙන් නොව, මැග්යාර් හංගේරියාව නේටෝ (NATO) සංවිධානය සහ බටහිර දිශානතිය වෙත යළි යොමු කරන බව ප්‍රකාශ කර ඇත. එමෙන්ම රජයට හිතවාදී මාධ්‍ය මගින් සිදු කළ ඒකපාර්ශවීය ප්‍රචාරණ පද්ධතිය වෙනස් කිරීමට ද ඔහු පියවර ගන්නා බව අවධාරණය කළේය.














