“රීබිල්ඩින් ශ්‍රී ලංකා” (Rebuilding Sri Lanka Fund) නමින් නිල අරමුදලක් නොමැති බව පවසමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනතාව නොමඟ යැවීමට සහ ව්‍යාකූලත්වයක් ඇති කිරීමට උත්සාහ කරන බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ “රීබිල්ඩින් ශ්‍රී ලංකා” යනු භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් (DST) ගිණුමට ලබා දී ඇති නමක් පමණක් වන අතර, එම ගිණුමට ලැබෙන සියලුම මුදල් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම බැර වන බවයි. විපක්ෂයේ ඇතැම් පිරිස් මෙවැනි ප්‍රකාශ සිදු කරන්නේ ජනතාව මෙම අරමුදලට ආධාර උපකාර කිරීම වැළැක්වීමේ චේතනාවෙන් බවට ද ඔහු චෝදනා කළේය.
මෙම අරමුදල නිල වශයෙන් පිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පත මේ වන විට අනුමැතිය සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කර ඇති අතර, එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට පියවර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
භාණ්ඩාගාරයේ DST ගිණුමට ලැබෙන මෙම මුදල් පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව කිසිදු අයුරකින් පරිහරණය කළ නොහැකි බව අවධාරණය කළ අමාත්‍ය බිමල් රත්නායක මහතා, දිට්වා සුළි කුණාටුවෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් වෙන් කරන ලද රුපියල් බිලියන 500ක මුදල පවා මෙතෙක් සම්පූර්ණයෙන් භාවිත කර නොමැති බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
















