දුම්රිය දෙපාර්තමේන්තුවේ ලාභ අලාභ සාමාන්‍ය ව්‍යාපාරික ආයතනයක් මෙන් ගණනය කළ නොහැකි බවත්, දුම්රිය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමම රටට ලැබෙන ප්‍රතිලාභයක් ලෙස සැලකිය යුතු බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
දුම්රිය වැනි මහජන සේවාවක කාර්යසාධනය ආදායම සහ වියදම පමණක් පදනම් කරගෙන ඇගයීම ප්‍රමාණවත් නොවන බව පෙන්වා දී ඇති අමාත්‍යවරයා, එහි මූල්‍ය කාර්යසාධනය නිවැරදිව ඇගයීම සඳහා මුදල් කාරක සභාව හෝ කෝප් (COPE) කමිටුව මගින් පැහැදිලි ක්‍රමවේදයක් සකස් කළ යුතු බව අවධාරණය කර ඇත. තවද, 2021 සිට 2025 දක්වා වසරවල දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම් සහ වියදම් සංඛ්‍යාලේඛන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඔහු, දෙපාර්තමේන්තුව සතු සමස්ත වත්කම්වල වටිනාකම ආසන්න වශයෙන් රුපියල් ට්‍රිලියනයක් පමණ වන බවද සඳහන් කර තිබේ.














