රුසියාවේ මොස්කව් කලාපයට ප්‍රධාන වශයෙන්ම ඉන්ධන සපයන, ‘ගැස්ප්‍රොම් නෙෆ්ට්’ (Gazprom Neft) සමාගමට අයත් විශාලතම තෙල් පිරිපහදුව වෙත යුක්රේනය විසින් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් එහි සමස්ත නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මෙම ප්‍රහාරයෙන් පිරිපහදුවේ ධාරිතාවයෙන් 53%කට වගකියන ප්‍රධාන පිරිපහදු ඒකකයට දැඩි හානි සිදුව ඇති අතර, ප්‍රහාරයෙන් පසුව පිරිපහදුවෙන් දැවැන්ත ගින්නක් සහ කළු දුමාරයක් මතුවන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශනද මාධ්‍ය වෙත නිකුත් වී තිබේ. කෙසේ වෙතත්, රුසියානු හදිසි අනතුරු අංශ ප්‍රකාශ කළේ ගින්න නිවා දමා ඇති අතර ඉන් නිෂ්පාදන කටයුතුවලට බාධාවක් නොවූ බවයි. නමුත් පිරිපහදු අභ්‍යන්තර ආරංචි මාර්ග එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර සිටියි.
ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රංශයේ පැවැත්වෙන G-7 සමුළුවට සහභාගී වී සිටින යුක්රේන ජනාධිපති ව්ලැඩිමියර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskiy) ප්‍රකාශ කළේ, කිලෝමීටර් 500ක් දුරින් සිට එල්ල කළ මෙම ප්‍රහාරය හරහා යුක්රේන දිගුකාලීන ප්‍රහාරක බලය මැනවින් ඔප්පු වන බවයි. මෙම ප්‍රහාර මාලාව හේතුවෙන් රුසියාව පුරා ඉන්ධන හිඟයක් නිර්මාණය වෙමින් පවතින අතර, එරට ප්‍රමුඛ පෙළේ තෙල් සමාගමක් වන ‘ටැට්නෙෆ්ට්’ (Tatneft) සමාගම සිය ඉන්ධන පිරවුම්හල්වලින් වාහනයකට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය සීමා කිරීමටද පියවර ගෙන ඇත.
















