ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු, එංගලන්තයේ පැවැත්වෙන විතාලිටි බ්ලාස්ට් (T20 Blast) විස්සයි20 තරඟාවලියේ ඉතිරි තරඟ කිහිපය සඳහා නොට්ස් අවුට්ලෝස් (Notts Outlaws) කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වී තිබේ. පාකිස්තාන ජාතික කණ්ඩායමේ නිල සංචාරයක් සඳහා කැඳවීම් ලැබූ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අලි වෙනුවට 30 හැවිරිදි බිනුරව මෙලෙස කණ්ඩායමට ආදේශ කර ඇත.
ඒ අනුව නොට්ස් කණ්ඩායම උතුරු කාණ්ඩයේ (North Group) ක්‍රීඩා කිරීමට නියමිත ලෙස්ටර්ෂයර් ෆොක්සස් සහ යෝක්ෂයර් කණ්ඩායම්වලට එරෙහි අවසන් මූලික වටයේ තරඟ දෙකට මෙන්ම, කණ්ඩායම සුදුසුකම් ලැබීමට නියමිත ඉදිරි අර්ධ අවසන් පූර්ව ඇතුළු පිළිමලුන් පිටුදැකීමේ වටයේ සියලු තරඟ සඳහා ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව බිනුර ප්‍රනාන්දුට හිමිවේ. පිට පිටම තරඟ 7ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන නොට්ස් අවුට්ලෝස් කණ්ඩායමට අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානයක් තහවුරු කරගැනීම සඳහා තවත් අවශ්‍ය වන්නේ එකම එක ප්‍රසාද ලකුණක් පමණි. අඩි 6යි අඟල් 6ක් උසැති මෙම වමත් වේග පන්දු යවන්නාගේ විවිධත්වය කණ්ඩායමේ පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කිරීමට විශාල පිටුවහලක් වනු ඇතැයි නොටින්හැම්ෂයර් ප්‍රධාන පුහුණුකරු පීටර් මුවර්ස් විශ්වාසය පළ කරයි.
















