ශ්‍රී ලංකා ජාතික විගණන කාර්යාලයේ (National Audit Office) නිලධාරීන් 30 දෙනෙකු වෙනුවෙන් ඉන්දියාවේ තොරතුරු පද්ධති සහ විගණන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ (ICISA) සති දෙකක් පුරා පැවැත්වුණු විශේෂ ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහන සාර්ථකව නිමාවට පත්ව ඇත. තොරතුරු තාක්ෂණ විගණනය (Information Technology Audit) පිළිබඳව මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරුණි.
කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරන පරිදි, මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලාංකික වෘත්තිකයන් 700 දෙනෙකු පුහුණු කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා 2025 අප්‍රේල් මාසයේදී මෙරට සිදුකළ නිල සංචාරයේදී වූ පොරොන්දුවකට අනුවය. තාක්ෂණික විගණන ක්ෂේත්‍රයේ නවීන දැනුම සහ කුසලතා ශ්‍රී ලාංකික නිලධාරීන්ට ලබාදෙමින්, මෙරට රාජ්‍ය විගණන පද්ධතියේ ධාරිතාව ඉහළ නැංවීම මෙමඟින් අපේක්ෂා කෙරේ.
















