27 April 2024
#දේශීය

රුධිර පාරවිලයනය සේවාව සතියකින් කඩා වැටෙයි – රවි කුමුදේශ්

රූධිර පාරවිලයනය සේවාව සම්පූර්ණයෙන්ම රදා පවතින පරීක්ෂණය වන ELISA පරීක්ෂණය සදහා ප්‍රතික්‍රීයක සැපයුම කාලාන්තරයක් තිස්සේ නිවැරදි නොකිරීම හේතුවෙන් ඉදිරි සතියේදී එහි සේවාවන් සම්පූර්ණයෙන්ම නවතා දැමීමට සිදුවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඒ මහතා කියා සිටියේ ELISA පරීක්ෂණය සදහා එකම එක සැපයුම්කරුවෙකු පමණක් ලියාපදිංචිය කර ගනිමින්, හිතාමතාම සහ සැලසුම් සහගතව වෙළදපල ඒකාධිකාරයක් නිර්මාණය කර ඇති බැවින්, එම සමාගමේ කොන්දේසි සහ මිල ගණන්වලට යටත් වීම හැර වෙනත් විකල්පයකට යෑමට ඇති හැකියාවද අවහිර කර ඇති බැවින්, මෙය වඩා භයානක අර්බුධයක් බවට පත්ව ඇති බවයි.

එමෙන්ම ELISA පරීක්ෂණයට අදාල ප්‍රතික්‍රීයක මිලදී ගැනීම සදහා පසුගියදා ආසියානු සංවර්ධන අරමුදල හරහා ටෙන්ඩරයක් ඉදිරිපත් කල අතර, ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය සහතිකය නොමැති සමාගම් සදහා, ටෙන්ඩරයට ඉදිරීපත්වීමට අදාල දැන්වීම ලබා ගැනීම පවා ඉඩ ලබා නොදීම මගින්, එකී වෙළදපල ඒකාධිකාරය රැකීමට ඇතැම් ව්‍යාපෘති අධ්‍යක්ෂකවරු කටයුතුකර ඇති ආකාරය ඉතා පැහැදිළි බව හෙතෙම පැවසිය.

එක් පසෙකින් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කිරීම් අනවශ්‍ය හා අතාර්කික අයුරින් ප්‍රමාද කරමින්ද, අනෙක් පසෙන් ලියාපදිංචිය ඉල්ලා ඇති සමාගමකට පවා ටෙන්ඩර ලියකියවිලි ලබා නොදෙමින්ද, නිර්මාණය කර ඇති වෙළදපල ඒකාධිකාරය හේතුවෙන්, එම සමාගමේ කොන්දේසිවලට යටත් නොවී, සත්කාර සේවාවේ අපේක්ෂා ඉටු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයට නොහැකි වනු ඇත.

මේ හේතුවෙන්, හදිසි ශල්‍යකර්ම, සැලසුම්ගත ශල්‍යකර්ම, වකුගඩු, අක්මා වැනි අවයව බද්ද කිරීම, හදිසි අනතුරු සදහා ප්‍රතිකාර කිරීම, දරු ප්‍රසූතිය සහ ගර්භනී මාතාවන්ගේ අවශ්‍යතා, තැලසීමියා වැනි චක්‍රගත රුධිර අවශ්‍යතා ඇති අයගේ ප්‍රතිකාර, ලියුකේමියා, ලිම්බෝමා වැනි රුධිරගත පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර, වැනි අංශ ගණනාවක සෞඛ්‍ය සේවාවන් බරපතල අර්බුධයකට ලක්වීමට නියමිතය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *