බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ්‍රය ඇතුළු තෝරාගත් ගොඩනැගිලි කිහිපයක් කෙටි කාලීනව බන්ධනාගාර දෙපාර්‌තමේන්තුවේ පරිපාලනය යටතට පත් කර ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි. උඩුනුවර හිඟුල ප්‍රදේශයේදී අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, බන්ධනාගාර තුළ පවතින දැඩි තදබදය අවම කිරීමේ අරමුණින් මෙම තාවකාලික පියවර ගෙන ඇති බවයි.
දැනට බන්ධනාගාර තුළ රඳවා සිටින පිරිස බන්ධනාගාරවල ධාරිතාව මෙන් තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවත්, එම තදබදය කළමනාකරණය කිරීම සඳහා වෙනත් කාර්‌යයන් සඳහා සැලසුම් කර තිබූ ගොඩනැගිලි කිහිපයක් මෙලෙස තාවකාලිකව බන්ධනාගාර ලෙස භාවිත කිරීමට පියවර ගත් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. සංචාරක කර්‌මාන්තය ප්‍රවර්ධනය සඳහා වෙන් කර තිබූ බෝගම්බර බන්ධනාගාරය සහ ගාල්ල මහමෝදර රෝහල් ගොඩනැගිල්ල මෙලෙස මාස තුන හතරක සීමිත කාලයක් සඳහා පමණක් බන්ධනාගාර කටයුතු වෙනුවෙන් යොදා ගන්නා බවත් ඔහු අවධාරණය කළේය.
බන්ධනාගාර පද්ධතියේ පවතින දුර්‌වලතා හේතුවෙන් මතු වී ඇති ගැටළු විසඳීමට රජය ප්‍රමුඛත්වය ලබා දී ඇති අතර, නුදුරේදීම ප්‍රමිතියෙන් යුත් නව බන්ධනාගාර ඉදිකිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මේ අතර, විපක්ෂය විසින් බන්ධනාගාර අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ මහතා, පදනම් විරහිත විශ්වාසභංග යෝජනා හරහා විපක්ෂය ජනතාව අතර තවදුරටත් ප්‍රතික්ෂේප වන බව වැඩිදුරටත් පැවසීය.
















