ජපාන මහ බැංකුව සිය කෙටි කාලීන පොලී අනුපාතය සියයට 0.75 මට්ටමේ නොවෙනස්ව තබා ගැනීමට අද තීරණය කළ ද එය ගෝලීය මූල්‍ය වෙළඳපොළ තුළ දැඩි කතාබහට ලක්ව තිබේ. මෙවර තීරණයේදී මණ්ඩලයේ සාමාජිකයින් නව දෙනාගෙන් තිදෙනෙකුම පොලී අනුපාත සියයට 1.0 දක්වා ඉහළ නැංවිය යුතු බවට යෝජනා කිරීම විශේෂත්වයක් වන අතර ඉරාන යුද්ධය හේතුවෙන් මතුව ඇති උද්ධමන පීඩනය හමුවේ ජපාන ප්‍රතිපත්ති සම්පාදකයින් දැඩි අවධානයෙන් පසුවන බව මින් පැහැදිලි වේ. මණ්ඩලය තුළ ඇති වූ මෙම ඡන්ද බෙදීම සහ 2026 මූල්‍ය වර්ෂය සඳහා වන උද්ධමන පුරෝකථනයන් ඉහළ නැංවීම හරහා ලබන ජුනි මාසයේදී පොලී අනුපාත ඉහළ දැමීමට වැඩි ඉඩක් ඇති බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.
මැදපෙරදිග යුදමය වාතාවරණය නිසා අමු තෙල් මිල ඉහළ යාම සහ ජපාන යෙන් මුදල දුර්වල වීම පාලනය කිරීම සඳහා පොලී අනුපාත ඉහළ දැමීමේ අවශ්‍යතාවය ආර්ථික විද්‍යාඥයින් අවධාරණය කරන අතර මහ බැංකුවේ මෙම තීරණයත් සමඟ යෙන් මුදලේ අගය යම් ස්ථාවර භාවයකට පත් වූ නමුත් නිකේයි කොටස් දර්ශකයේ යම් පහත වැටීමක් වාර්තා විය. මෙම තීරණය ජපානය සිය ශුන්‍ය පොලී අනුපාත ප්‍රතිපත්තියෙන් බැහැර වී සාමාන්‍ය ආර්ථික තත්ත්වයක් කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකෙන අතර මැදපෙරදිග අර්බුදය තවදුරටත් දිග්ගැස්සුනහොත් ජපානයට සිය මූල්‍ය ප්‍රතිපත්ති වඩාත් දැඩි කිරීමට සිදුවනු ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.














