මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු සහ වියට්නාම ජනාධිපති ටෝ ලැම් ලබන සතියේදී මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
:
එළඹෙන මැයි මස 04 වනදා මෙරටට පැමිණෙන මාලදිවයින් ජනාධිපතිවරයා සමඟ එරට රජයේ අමාත්‍යවරුන් සිව්දෙනෙකු ද සහභාගී වේ. මෙම සංචාරයේදී ඔහු ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී ධීවර, වෙළෙඳ, සංචාරක, අධ්‍යාපන සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.
වියට්නාම ජනාධිපති ටෝ ලැම් මහතා මැයි මස 07 වනදා මෙරටට පැමිණෙන්නේ 200 දෙනෙකුගෙන් යුත් විශේෂ දූත පිරිසක් ද සමඟිනි. ශ්‍රී ලංකා – වියට්නාම රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 55ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කර ඇති වැඩසටහන්වලට ඔහු සහභාගී වන අතර, වෙළෙඳ සහ සංචාරක ක්ෂේත්‍රවලට අදාළ වැදගත් අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිතව ඇත.
මෙම ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයන් හරහා කලාපීය සහයෝගීතාව සහ ආර්ථික සබඳතා නව මාවතකට යොමු වනු ඇති බව රජය අපේක්ෂා කරයි.














