ශ්‍රී ලංකා A සහ ඉන්දීය A කණ්ඩායම් අතර පැවැති තරගයේදී සිදුවූ උණුසුම් සිදුවීමත් සමඟ, එම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු මාධ්‍ය කළමනාකරු සහ ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් දැඩි විවේචනයක් එල්ල කර තිබේ.ඉන්දීය තරුණ ක්‍රීඩක වෛභව් සූර්යවංශිගේ ක්‍රීඩාංගණය තුළ හැසිරීම දැඩි ලෙස විවේචනය කළ බ්‍රයන් තෝමස්, ඔහුව හඳුන්වා ඇත්තේ ‘කව්බෝයි’ (Cowboy) කෙනෙකු ලෙසිනි. ක්‍රිකට් යනු ‘මහත්මා ක්‍රීඩාවක්’ බව සිහිපත් කරන ඔහු, වෛභව්ගේ හැසිරීම තරගයේ ගෞරවයට හානිකර බව අවධාරණය කරයි.
“ඔබ සෑහීමකට පත් නොවන්නේ නම්, ඉන්දියාවේ සිටින ඔබේ ‘Sugar daddies’ ට කතා කර ගෙදර යන්න. මක්නිසාද යත්, මෙය මහත්මා ක්‍රීඩාවක් බැවිනි.”
වෛභව්ගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් තරග තීරකවරයා (Match referee) වහාම මැදිහත් වී සුදුසු පියවරක් ගත යුතු බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි. තරග පිටියේ සිදුවන මෙවැනි අශෝභන හැසිරීම් හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින උසස් බව පිරිහෙන බවත්, තරුණ ක්‍රීඩකයින් විසින් සිය විනය පාලනය කරගත යුතු බවත් හිටපු මාධ්‍ය කළමනාකරු පවසයි.විශේන් හැළඹගේ ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉලක්ක කරගනිමින් මේ වන විටත් සමාජ මාධ්‍ය හරහා ඉන්දීය රසිකයින්ගෙන් සිදුවන බලපෑම් හමුවේ, බ්‍රයන් තෝමස්ගේ මෙම ප්‍රකාශය මේ වන විට ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්වෙමින් පවතී.
















