දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබෙන නඩුවේ විභාගය ජූනි මස 17 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද (06) නියම කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබූ අතර එහිදී පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කර නඩු විභාගය සඳහා දින නියම කෙරිණි. එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුට සිතාසි නිකුත් කිරීමට ද විනිසුරුවරයා නියම කළේය.
2016 වසරේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන සහ ආනයන අංශයේ කළමනාකරු ලෙස සේවය කළ කාලසීමාව තුළ හුණුපිටිය ගබඩා සංකීර්ණයේ භූමිය මත කාපට් ඇතිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියකදී පුද්ගලික සමාගමකට වාසියක් වන ලෙස කටයුතු කර රජයට රුපියල් 8,859,708ක පාඩුවක් සිදුකළ බවට හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබේ. මෙම ක්‍රියාව හරහා “දූෂණය” නැමැති වරද සිදුකර ඇති බවට අල්ලස් කොමිසම මගින් මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා ඇත.














