අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරියක සහ කොමසාරිස්වරයකු ලෙස කටයුතු කරන ලද දෙදෙනෙකු, තමන් දැරූ නිලතල සහ කොමිසමේ නාමය අවභාවිත කරමින් සිදුකර ඇති බව කියන දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පවත්වන්නැයි ඉල්ලා එම කොමිසම වෙතම පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. ලෝක බෞද්ධ මහා සම්මේලනයේ ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ සභාපති සුදත් දේවපුර මහතා විසින් මෙම පැමිණිල්ල අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා වෙත යොමු කර ඇත. අදාළ පැමිණිල්ලේ දැක්වෙන්නේ, මෙලෙස චෝදනා ලැබ සිටින හිටපු කොමසාරිස්වරයෙකු එම ධුරය දරන සමයේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ ද සේවය කර ඇති අතර, මෙම දූෂණ ක්‍රියාවන් සඳහා රාජ්‍ය නිලධාරීන් ද සම්බන්ධ කරගෙන ඇති බවයි. මේ පිළිබඳව වහාම පරීක්ෂණ පවත්වා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස පැමිණිලිකරු වැඩිදුරටත් ඉල්ලා සිටියි.
















