පාර්ලිමේන්තු පරිපාලන දෙපාර්තමේන්තුවේ ආයතන කාර්යාංශයේ උසස් නිලධාරිනියකට ලබා දී තිබූ ස්ථාන මාරුවීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පාර්ලිමේන්තු මහලේකම්වරියට නියෝග කර තිබේ.
අදාළ නිලධාරිනිය පසුගිය 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මහජන පෙත්සම් කාරක සභාව වෙත මාරු කර යැවීමට පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පියවර ගෙන තිබුණි. කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම්වරයාට එරෙහිව දැනට ක්‍රියාත්මක වන දූෂණ විමර්ශනයකදී මෙම නිලධාරිනිය ප්‍රධාන සාක්ෂිකාරියක ලෙස කටයුතු කරයි. එම විමර්ශන කටයුතු අවසන් වන තෙක් ඇයගේ ස්ථාන මාරුවීම ක්‍රියාත්මක නොකරන ලෙස අල්ලස් කොමිසම දන්වා ඇත.
දූෂණ චෝදනා මත වැඩ තහනමට ලක්වූ හිටපු නියෝජ්‍ය මහලේකම්වරයාට එරෙහි පවතින පැමිණිල්ල මෙන්ම, ඔහු විසින් කතානායකවරයාට එරෙහිව සිදු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ද අල්ලස් කොමිසම මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.














