බ්‍රිතාන්‍යයේ අතිශය ජනප්‍රිය සහ සාර්ථකම පාපැදි ක්‍රීඩිකාවක වන කේටි ආචිබෝල්ඩ් සිය වෘත්තීය ක්‍රීඩා ජීවිතයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ. තෙවතාවක් ඔලිම්පික් පදක්කම් දිනා ඇති ඇය, ස්කොට්ලන්ත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සංචිතයට ද තේරී පත්ව සිටියදී මෙලෙස හදිසියේම විශ්‍රාම ගැනීම ක්‍රීඩා ලෝකයේ දැඩි අවධානයට ලක්ව ඇත. වසර 13ක ක්‍රීඩා ජීවිතය තුළ ලෝක ශූරතා 7ක් ඇතුළු ප්‍රධාන ජාත්‍යන්තර පදක්කම් 51ක් දිනා ඇති 32 හැවිරිදි කේටි, ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇත්තේ රෝගීන්ට සේවය කිරීමේ අරමුණින් හෙදියක් ලෙස නව වෘත්තියක් ආරම්භ කිරීමටයි.
තමා දැනටමත් හෙදියක් වීමට අවශ්‍ය පුහුණුව ලබමින් සිටින බවත්, මිනිසුන්ට උපකාර අවශ්‍ය මොහොතක ඔවුන්ට සහනයක් විය හැකි විශ්වාසවන්ත පුද්ගලයෙකු වීම සුවිශේෂී හැඟීමක් බවත් ඇය ප්‍රකාශ කර ඇත. වයස අවුරුදු 19 දී බ්‍රිතාන්‍ය පාපැදි සංචිතයට එක්වූ ඇය, සිය දීර්ඝ වෘත්තීය ජීවිතය තුළ ඔලිම්පික් රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කමක්, යුරෝපීය ශූරතා 21ක් සහ පොදු රාජ්‍ය මණ්ඩලීය රන් පදක්කමක් දිනා ගනිමින් ක්‍රීඩා ඉතිහාසයට එක් වූවාය. සිය සාර්ථක ගමනට අත්වැලක් වූ පුහුණුකරුවන්ට සහ පවුලේ අයට කෘතඥතාව පළ කරමින් ඇය සිය නව වෘත්තීය ජීවිතය පිළිබඳව ඉමහත් උනන්දුවකින් පසුවෙයි.














