ජාතික ජන බලවේගය (මාලිමාව) ප්‍රමුඛ වත්මන් රජයේ ඡන්ද ප්‍රතිශතය මේ වන විට 20% දක්වා පහත වැටී ඇති බවත්, පරාජයට ඇති බිය නිසා රජය පළාත් සභා මැතිවරණය පැවැත්වීම මග හරිමින් සිටින බවත් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. නුවරඑළියේදී පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණයේදී ලබාගත් 43% ක ඡන්ද ප්‍රතිශතය මාස හයක් ඇතුළත පළාත් පාලන මැතිවරණයේදී 42% දක්වා අඩු වූ බවත්, වර්තමානය වන විට එය 20% දක්වා ඇද වැටී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. රජය මැතිවරණයකට බිය නොවන්නේ නම් 1987 ව්‍යවස්ථාව අනුව හෝ කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඔහු අභියෝග කළේය.
ඉතිහාසය සහ ප්‍රතිපත්ති
ජනතා විමුක්ති පෙරමුණ අතීතයේදී පළාත් සභා ක්‍රමයට විරුද්ධව රාජ්‍ය දේපළ විනාශ කරමින් භීෂණයක් ඇති කළද, පසුව ලැජ්ජාවකින් තොරව එම මැතිවරණවලටම ඉදිරිපත් වූ බව ඔහු මතක් කර දුන්නේය. ජනාධිපතිවරයා සිය පොරොන්දු පත්‍රයේ පළමු වසර තුළ පළාත් සභා මැතිවරණය පවත්වන බවට පොරොන්දු වුවද දැන් එය මග හරිමින් සිටින බවට ඔහු චෝදනා කළේය.
වත්මන් රජය යටතේ ආර්ථිකය දරුණු ලෙස කඩා වැටී ඇති බවත්, ඩොලරයේ මිල රුපියල් 326 ක් දක්වා ඉහළ යාම ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය බවත් මහලේකම්වරයා පැවසීය. එමෙන්ම “දිට්වා” සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට ලබාදෙන බව කී වන්දි මුදල් ද තවමත් නිසි පරිදි ලබා දී නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා ද සහභාගී වූ අතර, නුවරඑළිය ආසන සංවිධායකවරයා ලෙස අලුතින් පත් වූ අජිත් කුමාර මහතා පිළිගැනීම ද මෙහිදී සිදු විය.














