නුවරඑළිය ඓතිහාසික ගොල්ෆ් ක්‍රීඩාංගණය සඳහා පුද්ගලයෙකු විසින් ව්‍යාජ ලෙස ඔප්පුවක් සකස් කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් වහාම සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම රජයේ වගකීමක් බවත් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. සුදු ජාතිකයන්ගේ කාලයේ සිට පැවතෙන, ශ්‍රී ලංකාවේ ඓතිහාසික බව ලෝකයට පෙන්වීමට ඇති මෙවැනි සුවිශේෂී වටිනාකමකින් යුත් ස්ථාන රජයක් ලෙස ආරක්ෂා කරගත යුතු බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
ඊයේ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා දැක්වූ අනෙකුත් අදහස් මෙසේය:
දකුණු පළාතේ ඇමැතිවරයකුගේ දියණියක් එංගලන්තයේ නිව්කාසල්හි ඉගෙනුම ලබන බවත්, ඇය නවාතැන් ගෙන සිටින්නේ ඩයස්පෝරාවේ හිතවතෙකුගේ නිවසක බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය. එවැනි සබඳතා පවත්වන්නේ නම් එය සඟවන්නේ නැතිව කෙළින්ම ප්‍රකාශ කරන ලෙස ඔහු අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේය.
රජය විසින් වාහන සඳහා බද්දක් පැනවූවද, ජනාධිපතිවරයා ඒ පිළිබඳව කලින්ම ප්‍රකාශ කිරීම නිසා බදු පැනවීමට පෙර වාහන 4,000කට ආසන්න ප්‍රමාණයකට ණයවර ලිපි (LC) විවෘත කර ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. මේ හේතුවෙන් එම වාහනවලින් රජයට අපේක්ෂිත බදු ආදායම නොලැබෙන බවත්, තෙල් මිල වැඩි කරන බව ජනාධිපතිවරයා කලින්ම ප්‍රකාශ කිරීම ද අනවශ්‍ය ක්‍රියාවක් බවත් චාමර සම්පත් දසනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.












