ඉරානයේ ප්‍රධාන සාකච්ඡාකරු මොහොමඩ් බගර් ගාලිබෆ් මහතා අමෙරිකාවට අනතුරු අඟවමින් පවසා ඇත්තේ එකපාර්‌ශ්වීය ගිවිසුම්වල යුගය අවසන් බවත්, ලබා දී ඇති පොරොන්දු ඉටු නොකළහොත් බරපතළ වන්දියක් ගෙවීමට සිදුවන බවත්ය. ඔහු සිය නිල X ගිණුමේ සටහනක් තබමින් මෙම අදහස් පළ කර ඇත.
සිය ප්‍රකාශය තහවුරු කිරීම සඳහා ඔහු ඉරාන – අමෙරිකානු අවබෝධතා ගිවිසුමේ 5 වැනි වගන්තියේ ඡායාරූපයක් ද ඒ සමඟ අමුණා තිබේ. එම 5 වැනි වගන්තිය මගින් හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් පවතින විශේෂ ප්‍රතිපාදන සහ කොන්දේසි ඔහු විසින් එහිදී විශේෂයෙන් ඉස්මතු කර පෙන්වා දී ඇත.
මැදපෙරදිග කලාපය පුරා ඉරාන සහ අමෙරිකානු හමුදා අතර දැඩි යුදමය නොසන්සුන්තාවක් හටගෙන ඇති පසුබිමක මෙම ප්‍රකාශය නිකුත් වීම විශේෂත්වයකි. කලාපීය ආරක්ෂාව සහ දේශපාලන ස්ථාවරත්වය සම්බන්ධයෙන් දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික ආතතීන් මෙම ප්‍රකාශය තුළින් යළිත් වරක් තීව්‍ර වී තිබේ.
















