දකුණු කොරියාවේ සෝල් නුවර පැවැත්වෙන 2026 ගෝලීය AI සහ ඩිජිටල් සමුළුවට සමගාමීව, ශ්රී ලංකා නියෝජිත පිරිස සහ එස්ටෝනියානු ජනරජයේ නියෝජිත පිරිස අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා තිබේ. ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය (ඉංජිනේරු) එරංග වීරරත්න මහතාගේ ප්රධානත්වයෙන් පැවැති මෙම හමුව සඳහා එස්ටෝනියානු විදේශ කටයුතු අමාත්යාංශයේ ඩිජිටල් සහ සයිබර් රාජ්ය තාන්ත්රික කටයුතු පිළිබඳ අධ්යක්ෂ ජෙනරාල් ප්රීට් ටර්ක් මහතා සහ ප්රමුඛ ඩිජිටල් තාක්ෂණික විශේෂඥ ආචාර්ය නෙලේ ලියෝස්ක් මහත්මිය එක්ව සිටියහ.
දෙරටේම ජාතික ඩිජිටල් සංවර්ධන ප්රමුඛතාවන් පිළිබඳ අදහස් හුවමාරු කරමින් ඇරඹුණු මෙම සාකච්ඡාවේදී, ශ්රී ලංකාවේ රාජ්ය අංශයේ ඩිජිටල්කරණ ක්රියාවලිය ශක්තිමත් කිරීම උදෙසා එස්ටෝනියානු e-Governance Academy මගින් සිදුකළ ඩිජිටල් අත්දැකීම් පිළිබඳ ඇගයීම් වාර්තාවේ යෝජනා සක්රීයව බද්ධ කරගැනීම පිළිබඳව අවධානය යොමු විය. විශේෂයෙන්ම රාජ්ය ආයතන අතර සම්බන්ධීකරණය වර්ධනය කිරීම, ඩිජිටල් හැඳුනුම්පත සහ ඩිජිටල් අත්සන් ස්ථාපිත කිරීම, සයිබර් ආරක්ෂණය තහවුරු කිරීම සහ ආරක්ෂිත දත්ත හුවමාරු පද්ධති ගොඩනැගීම කෙරෙහි දෙපාර්ශ්වයේම දැඩි අවධානයක් යොමුව තිබේ.
එමෙන්ම 2025 වසරේදී දෙරට අතර වෙළඳ ගනුදෙනු අමෙරිකානු ඩොලර් මිලියන 12.7 දක්වා 51.8%ක සැලකිය යුතු වර්ධනයක් අත්කර ගැනීම මෙහිදී අගය කිරීමට ලක් වූ අතර, SLASSCOM ආයතනය එස්ටෝනියානු තොරතුරු තාක්ෂණ හා විදුලි සංදේශ සංගමය (ITL) සමඟ එක්ව පවත්වන ලද B2B සහයෝගීතා වැඩසටහන් ද ඇගයීමට ලක්විය. ඉදිරියේදී දෙරට අතර තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ද්විපාර්ශ්වික වෙළඳ හා ආයෝජන සබඳතා තවදුරටත් පුළුල් කිරීමට දෙපාර්ශ්වයම එකඟතාව පළ කළහ. 2026 නොවැම්බර් මාසයේ දෝහා හි පැවැත්වීමට නියමිත ජාත්යන්තර විදුලි සංදේශ සංගමයේ (ITU) ප්ලෙනිපොටෙන්ෂරි සම්මේලනයේදී, ITU හි විදුලි සංදේශ සංවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ ධුරය සඳහා ඉදිරිපත්ව සිටින එස්ටෝනියානු අපේක්ෂිකා ආචාර්ය නෙලේ ලියෝස්ක් මහත්මියගේ ඉදිරි දැක්ම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය සහ GovTech ප්රධාන විධායක නිලධාරී ෂෙවාන් ගුණතිලක යන මහත්වරුන් ද සහභාගී වූහ.
















