කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය සහ ඖෂධ භාවිත කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් සහ රසායනාගාර 23කට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ නඩු පවරා තිබේ.
අධිකරණය මගින් මේ වන විට නියම කර ඇති සමස්ත දඩ මුදල රුපියල් 5,798,000ක් වන අතර, රෝගී සත්කාර සඳහා කල් ඉකුත් වූ ඖෂධ තබා ගැනීම, රෝග විනිශ්චය පරීක්ෂණ සඳහා කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම සහ නියමිත උපරිම මිල ඉක්මවා ගාස්තු අය කිරීම වැනි බරපතළ අක්‍රමිකතා මෙම වැටලීම්වලදී අනාවරණය වී ඇත. මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ අරමුණින් දිවයින පුරා එවැනි ආයතන වෙත එරෙහිව විමර්ශන හා නීතිමය ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එම අධිකාරිය නිවේදනය කරයි.














