ශ්‍රී ලංකාවේ අපනයන තරගකාරිත්වය ඉහළ නැංවීම සහ අපනයනය කේන්ද්‍ර කරගත් තිරසර ආර්ථික වර්ධනයක් අරමුණු කරගනිමින් සකස් කරන ලද “2026-2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම” සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මෙම සැලැස්ම 2025 අයවැය මඟින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් සකස් කර ඇති අතර, ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහාය ද ලබාගෙන ඇත.
මෙම නව සැලැස්මේ ප්‍රධානතම ඉලක්කය වන්නේ 2030 වර්ෂය වන විට වෙළෙඳ භාණ්ඩ හා සේවා අපනයනය මඟින් ඇමෙරිකානු ඩොලර් බිලියන 36ක විදේශ විනිමය ආදායමක් උපයා ගැනීමයි. ඒ සඳහා අවශ්‍ය උපායමාර්ගික රාමුව, මෙහෙයවීම් සහ අධීක්ෂණ කටයුතු මෙම සැලැස්ම මඟින් විධිමත් කර ඇත.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාව ස්ථිර කිරීමත් සමඟ, එය ඉදිරි වසර පහ සඳහා ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සහ ප්‍රවර්ධනය සඳහා වූ නිල උපායමාර්ගික රාමුව ලෙස ක්‍රියාත්මක වනු ඇත. මෙමඟින් මෙරට අපනයන ක්ෂේත්‍රයේ නව පිම්මක් ඇති කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය අපේක්ෂා කරයි.














