කෙරවලපිටිය අන්තර් හුවමාරුව ඇතුළුව කොළඹ‑කටුනායක අධිවේගී මාර්ගයේ මාර්ග ආලෝකකරණ පද්ධතියට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් විසින් දිගින් දිගටම සිදු කරන ලද විනාශකාරි ක්‍රියා සහ සොරකම් හේතුවෙන් දැවැන්ත හානියක් සිදුව ඇති බව අනාවරණය වේ. මේ වන විට අධිවේගී මාර්ගයේ ආලෝකකරණ පද්ධතියෙන් ආසන්න වශයෙන් 85%ක්ම පවතින්නේ සම්පූර්ණයෙන්ම අක්‍රීය මට්ටමකය.
අධිවේගී මාර්ගයේ මුළු දිග ප්‍රමාණයම එකවර ආලෝකකරණය කිරීමට අධික පිරිවැයක් දැරීමට සිදුවන බැවින්, පළමු අදියර යටතේ වඩාත් තීරණාත්මක මාර්ග කොටස් පමණක් ආලෝකකරණය කිරීමට රජය සැලසුම් කර ඇත. ඒ අනුව පෑලියගොඩ, කෙරවළපිටිය, සීදුව සහ ජාඇල යන අන්තර් හුවමාරු ප්‍රදේශ ද, නව කැලණි පාලමේ සිට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ දක්වා සහ සීදුව සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (BIA) දක්වා වූ නිදහස් මාර්ග කොටස් ද ප්‍රථම අදියර යටතේ පුනරුත්ථාපනය කෙරේ.
මෙම සුවිශේෂී මාර්ග කොටස්වල ආලෝකකරණ පද්ධතිය යාවත්කාලීන කිරීම පැකේජ 2ක් යටතේ ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා රුපියල් මිලියන 1,098.50ක (රුපියල් බිලියන 1.09ක) ඇස්තමේන්තුගත පිරිවැයක් අපේක්ෂිතය. ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය (National Competitive Bidding) අනුගමනය කරමින් තෝරා ගනු ලබන සුදුසු කොන්ත්‍රාත්කරුවන් මඟින් මෙම ව්‍යාපෘතිය ඉටු කරවා ගැනීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල (Cabinet) අනුමැතිය හිමිව තිබේ.
















