ආන්දෝලනාත්මක බාල හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ නඩුවේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සිදුවූ අක්‍රමිකතා තමන්ට අදාළ නොවන බවත්, තමන් වගකියනු ලබන්නේ මූල්‍ය අංශයට පමණක් බවත් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඩයනා නිශාන්ති දේවසුරේන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කළාය. ඇය මේ බව සඳහන් කළේ මෙම නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී විත්තියේ නීතිඥවරුන් නැඟූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
ඖෂධය ගෙන්වීම වෙනත් සමාගම් දෙකකට පැවරීමෙන් පසුව ද පුද්ගලයන් පස් දෙනෙකු මියගියේද යන්න සහ එම සමාගම්වලට ගෙවූ මුදල් පිළිබඳ තොරතුරු ලේඛන පරීක්ෂා කිරීමෙන් තොරව ප්‍රකාශ කළ නොහැකි බව ද ඇය කියා සිටියාය. 2022 වසර වන විට රාජ්‍ය ඖෂධ සංස්ථාවේ මූල්‍ය තත්ත්වය රුපියල් බිලියන 10.324ක් වූ බව පිළිගත් ඇය, එම වකවානුවේ ආයතනයේ ද්‍රවශීලතාව සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබූ බවට විත්තියේ නීතිඥවරුන් කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළාය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු පිරිසක් විත්තිකරුවන් වන මෙම නඩුව, ව්‍යාජ ඖෂධ සකසා රුපියල් මිලියන 144කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා 14ක් යටතේ විභාග කෙරේ.
















