මහජන ඡන්දයෙන් තේරී පත්වීමෙන් අනතුරුව තමන් නියෝජනය කරන දේශපාලන පක්ෂය මාරු කරනු ලබන මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය වහාම අහෝසි කිරීම සඳහා වන විශේෂ පනත් කෙටුම්පතක් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සූදානම් වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (26) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ නිල මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
මෑතකාලීනව දේශපාලන ක්ෂේත්‍රය තුළ පළවන විවිධ ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා, විපක්ෂය නියෝජනය කරන කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ආණ්ඩු පක්ෂය වෙත බඳවා ගැනීමට හෝ සම්බන්ධ කර ගැනීමට රජයේ කිසිදු සූදානමක්, කැමැත්තක් හෝ උත්සාහයක් නොමැති බව තරයේ අවධාරණය කළේය. යම් යම් දේශපාලන පාර්ශ්වයන්ට එවැනි පුද්ගලික ප්‍රාර්ථනාවන් තිබිය හැකි වුවත්, වත්මන් රජයට රට පාලනය කිරීම සඳහා ජනතාව විසින් ඉතා පැහැදිලි සහ ස්වාධීන ජනවරමක් ලබා දී ඇති බැවින් වෙනත් පාර්ශ්වයන්ගේ සහය ලබාගැනීමේ අවශ්‍යතාවක් පැන නොනගින බව ද ඔහු පෙන්වා දුන්නේය.
ජනතාව ලබාදුන් පරමාධිපත්‍යමය ඡන්ද බලයට සහ ජනවරමට පිටුපාමින්, පෞද්ගලික හෝ දේශපාලන වාසි තකා පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිමය පියවර ගනිමින් ඔවුන්ගේ ධුර අහෝසි කිරීමේ මෙම නව කෙටුම්පත හරහා මෙරට දේශපාලන සංස්කෘතියේ පවතින ප්‍රධානතම දූෂිත ක්‍රියාවක් වැළැක්වීමට හැකිවනු ඇතැයි රජය අපේක්ෂා කරයි.
















