2025 වසරේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයකින් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ ටෙක්සාස්හි පිහිටි ‘කෑම්ප් මිස්ටික්’ (Camp Mystic) ක්‍රිස්තියානි බාලිකා ගිම්හාන කඳවුර නැවත විවෘත කිරීම සඳහා බලපත්‍ර ලබා දිය නොහැකි බව ටෙක්සාස් බලධාරීන් ප්‍රකාශ කර තිබේ. රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි, එම කඳවුර විසින් ඉදිරිපත් කරන ලද හදිසි සූදානම් වීමේ සැලසුම තුළ ආරක්ෂක අඩුපාඩු 22ක් පවතින බවට ප්‍රාන්ත සෞඛ්‍ය හා මානුෂීය සේවා දෙපාර්තමේන්තුව (Health and Human Services Department) පෙන්වා දී ඇත.
විශේෂයෙන්ම ගංවතුර අනතුරු ඇඟවීමේ ක්‍රමවේද සහ ඉවත් කිරීමේ (Evacuation) පියවරයන්හි පවතින දුර්වලතා පිළිබඳව පිටු 11ක වාර්තාවක් මගින් බලධාරීන් කරුණු දක්වා තිබේ. මෙම අඩුපාඩු නිවැරදි කර නව හදිසි සැලසුමක් ඉදිරිපත් කිරීම සඳහා කඳවුරු පාලනාධිකාරියට දින 45ක කාලයක් ලබා දී ඇත. 2025 ජූලි මාසයේදී ගුවඩාලුපේ නදියේ (Guadalupe River) හදිසියේ ඇති වූ ජල ගැලීම් හේතුවෙන් මෙම කඳවුර දැඩි විනාශයකට ලක් වූ අතර, නැවත මෙවැනි ඛේදවාචකයක් සිදු වීම වැළැක්වීම සඳහා ආරක්ෂක ප්‍රමිතීන් දැඩිව අනුගමනය කළ යුතු බව ප්‍රාන්ත බලධාරීන් අවධාරණය කරයි.














