27 April 2024
#දේශීය

ආණ්ඩුකාරයන් එක්ක බෑ – පළාත් සභා නියෝජිතයන් මහින්දට පැමිණිලි කරලා !

අලුතෙන් පත්කර ඇති ඇතැම්  ආණ්ඩුකාරවරුන් පළාත් සභා නියෝජනය කළ පොදුජන පෙරමුණට සම්බන්ධ පළාත් මැති ඇමතිවරුන්ගේ අදහස් සහ යෝජනා නොතකන බවට අගමැති මහින්ද රාජපක්ෂ වෙත පැමිණිලි කර ඇති බව වාර්තා වෙයි.

මෙසේ හිටපු පළාත් මැති ඇමතිවරුන් තම දුක්ගැනවිල්ල අගමැතිවරයාට ඉදිරිපත් කර ඇත්තේ පසුගිය බදාදා හිටපු පළාත් සභා නියෝජිතයන් සමඟ පැවති සුහද හමුවේදීය.

එහිදී ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු සම්බන්ධව පළාත් වශයෙන් නම් කර මේ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවත් රාජකාරිමය වශයෙන් තීරණ ගැනීමේදී පළාත් සභාවල සාමාජිකයන්ගේ අදහස්වලට ඇහුම්කන් නොදීම, ඔවුන්ව නොතැකීම, හමුවීමට පවා අවස්ථාවක් නොදීම, උත්සව වලදී ඉදිරියට නොගැනීම ඇතුළු කරුණු රැසක් සිය දුක්ගැනවිල්ලක් බඳු පැමිණිල්ලේ සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි.

අපගේ දේශපාලන වාර්තාකරු පවසා සිටියේ අගමැති මහින්ද රාජපක්ෂ විසින් එම අවස්ථාවේම එකී ආණ්ඩුකාරවරුන් අමතමින් පැමිණිල්ල සම්බන්ධව කරුණු විමසු බවය. 

එසේම පළාත් සභා නියෝජිතයන් සමඟ සුහදව පළාත් තුළ කටයුතු කරන ලෙසත් එහිදී ආණ්ඩුකාරවරුන්ට දන්වා ඇති බවත් වාර්තා වෙයි.

මෙහිදී පළාත් සභා මැතිවරණය සම්බන්ධවද එම නියෝජිතයන් විසින් අගමැති මහින්ද රාජපක්ෂගේ අවධානය යොමුකරවා ඇති අතර මහ මැතිවරණයෙන් පසුව ඒ සම්බන්ධව කඩිනමින් කටයුතු කරන බව අගමැතිවරයාගේ ප්‍රතිචාරය වූ බවත් වාර්තා වෙයි.

පළාත් සභා දුක්ගැනවිල්ල තවදුරටත් !

මේ වන විට පළාත් සභා විසුරුවා හැර ඇති අතර එබැවින් පළාත් සභා කටයුතු සිදුවන්නේ ආණ්ඩුකාරවරුන්ගේ සෘජු මැදිහත්වීම මතය. එසේම මේ වන විට මහ මැතිවරණය සඳහා ජාතික දේශපාලනය සූදානම් වන බවක් පැහැදිළිව පෙනීයන නමුත් හිටපු පළාත් සභා මැති ඇමතිවරුන් රැසක් මහ මැතිවරණය හමුවේ නාමයෝජනා ලැබීම සම්බන්ධව සිටින්නේ දැඩි දෙඟිඩියාවකයි. 

ඒ පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු අනෙක් කුඩා පක්ෂ අතර මහ මැතිවරණ නාමයෝජනා ඉඩ බෙදීයාමෙදී මතුව ඇති ප්‍රශ්නය නිසාය. දැනට ප්‍රසිද්ධවී ඇති දේශපාලන වාර්තා අනුව මහ මැතිවරණය වෙනුවෙන් අපේක්ෂිත ආණ්ඩුවේ සන්ධානයේ 50%ක් පමණක් පොදුජන පෙරමුණට හිමිවන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන්ට 30%ක කොටසක් හිමිව ඇත. අනෙක් සුළු පක්ෂ වලට 20%ක් හිමිවෙයි.

ඒ නිසා පොදුජන පෙරමුණට සම්බන්ධවූ පළාත් සභා නියෝජිතයන් රැසකගේ දියවන්නා සිහිනය තවත් වසර 5ක කාලයට කල්දමා ගැනීමට සිදුව ඇත. ඒ සම්බන්ධව ලැබෙන ආරංචිමාර්ග පවසන්නේ පළාත් ප්‍රබලයන් රැසක් එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් කෙසේ හෝ නාම යෝජනා ලබා ගැනීමේ උත්සාහයක නිරතව සිටින බවයි. ඒ හේතුවෙන් ඔවුන්ට වැඩි වැඩියෙන් තමන් නියෝජනය කරන දිස්ත්‍රිකයේ උත්සව ඇතුළු විශේෂ අවස්ථා වලට එක්වී ජනතාව අතර සිටීමේ අවශ්‍යතාවයක් මතුව ඇත. එබැවින් ඔවුන් ආණ්ඩුකාරවරුන් සහභාගීවන ඇතැම් උත්සව ඇතුළු විවිධ සාකච්ඡා සඳහා පැමිණීමේ දැඩි අවධානයකින් පසුවෙයි.

ආණ්ඩුකාරවරුන් සහ පළාත් මැති ඇමතිවරුන් අතර හිත් අමනාපකම් ඇතිවීමට මූලික හේතු වල මේ කරුණත් ඉහළින්ම ඇති බව අප දේශපාලන වාර්තාකරුවන් පෙන්වාදෙයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *