අමෙරිකානු විශ්වවිද්‍යාලවල සේවය කරන ප්‍රමුඛ පෙළේ පර්යේෂකයන් රැසක් කැනඩාවේ විශ්වවිද්‍යාල වෙත බඳවා ගැනීමට එරට රජය පියවර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට, ලොව පුරා සිටින පර්යේෂකයන් 64 දෙනෙකු කැනඩාවට ගෙන්වා ගැනීමට නියමිත අතර, එයින් 48 දෙනෙකුම අමෙරිකාවෙන් පැමිණෙන පර්යේෂකයන් වේ.
කැනඩා රජයේ නව වැඩසටහනක් යටතේ මෙම පර්යේෂකයන්ගේ කටයුතු වෙනුවෙන් කැනේඩියානු ඩොලර් මිලියන 504ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්ති අනුගමනය කිරීම සහ පර්යේෂණ අරමුදල් අත්හිටුවීම හේතුවෙන් එරට විද්‍යාඥයන් මුහුණ දී සිටින අවිනිශ්චිතතාවය මෙම සංක්‍රමණයට ප්‍රධාන හේතුව වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.














