කැනඩාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම (USMCA) සම්බන්ධයෙන් දෙරට අතර ඇති වී තිබෙන මතභේදකාරී තත්ත්වය හමුවේ, කැනඩා අගමැති මාර්ක් කාර්නි මහතා දැඩි ප්‍රකාශයක් සිදු කර තිබේ. ඔහු අවධාරණය කරන්නේ වෙළෙඳ සාකච්ඡාවලදී ඇමෙරිකාව පනවන කොන්දේසිවලට පමණක් එකඟ වීමට හෝ ඔවුන්ගේ ඉල්ලීම් හමුවේ අවනත වීමට කැනඩාව සූදානම් නොමැති බවයි.
කැනඩාව, ඇමෙරිකාව සහ මෙක්සිකෝව අතර පවතින මෙම ත්‍රෛපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම ලබන ජූලි 1 වැනිදා වන විට අනිවාර්ය සමාලෝචනයකට ලක් කළ යුතුව ඇතත්, දෙරටේ වෙළෙඳ ප්‍රතිපත්තිමය පරස්පරතා හේතුවෙන් එම ඉලක්කය සපුරා ගැනීම අසීරු වී තිබේ. ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත ජේමීසන් ග්‍රීර් පවසන්නේ කැනඩාව ගෝලීයකරණය දෙසට තවදුරටත් නැඹුරු වීම ඇමෙරිකාවේ වර්තමාන වෙළෙඳ අරමුණුවලට බාධාවක් බවයි.
කිරි නිෂ්පාදන සඳහා කැනඩාව පනවා ඇති ආනයන සීමා සහ මධ්‍යසාර තීරුබදු සම්බන්ධයෙන් පවතින ගැටලු මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන් වී තිබේ. කැනඩා රජය පවසන්නේ තමන් සිය දේශීය කිරි ගොවීන් ආරක්ෂා කරන සැපයුම් කළමනාකරණ පද්ධතිය පිළිබඳව කිසිදු සාකච්ඡාවකට සූදානම් නොමැති බවයි. කෙසේ වෙතත්, ඇමෙරිකානු බලධාරීන් පවසන්නේ කැනඩාව ඇමෙරිකානු ගොවීන්ට අසාධාරණ ලෙස සලකන බවයි.
අගමැති මාර්ක් කාර්නි පවසන්නේ කැනඩාව සහ ඇමෙරිකාව අතර පවතින ආර්ථික සබඳතාව අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන අතර, සාකච්ඡා මාර්ගයෙන් දෙපාර්ශවයටම සාර්ථක ප්‍රතිඵලයක් ලබාගත හැකි වුවත් ඒ සඳහා යම් කාලයක් ගතවනු ඇති බවයි. කැනඩාව දැනටමත් සිය වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය කිරීම සඳහා විශේෂ උපදේශක කමිටුවක් ද පත් කර තිබේ.














