මැදපෙරදිග කලාපයේ ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය දිගුකාලීනව ඇදී ගියහොත්, යුක්රේනයට අවශ්‍ය ඇමෙරිකානු මිසයිල නාශක පද්ධති ලබාගැනීමේදී දැඩි අවදානමකට මුහුණ දීමට සිදුවනු ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි මහතා ප්‍රකාශ කරයි.
CNN නාලිකාව සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නේ, ඇමෙරිකාව සතු මිසයිල නිෂ්පාදන ධාරිතාව සීමිත බැවින් දැනටමත් යුක්රේනයට ලැබෙන්නේ සීමිත අවි ආයුධ ප්‍රමාණයක් බවයි. ඉරාන යුද්ධය හේතුවෙන් ඇමෙරිකාවට සිය අවි සැපයුම මැදපෙරදිග වෙත යොමු කිරීමට සිදුවුවහොත්, යුක්රේනයට ලැබෙන Patriot මිසයිල වැනි වැදගත් ආරක්ෂක පැකේජයන් අහිමි වීමේ අවදානමක් පවතින බව ඔහු අවධාරණය කළේය.
යුක්රේනය මේ වන විට නේටෝ (NATO) රටවල් හරහා ක්‍රියාත්මක වන විශේෂ වැඩසටහනක් (PURL) මඟින් ඇමෙරිකානු ආයුධ මිලදී ගැනීමට කටයුතු කරමින් සිටියද, ඉරාන ගැටුම හමුවේ එම සැපයුම් ජාලය අඩාල විය හැකි බව ඔහු පවසයි. මේ අතර, රුසියානු ඩ්‍රෝන ප්‍රහාර හමුවේ යුක්රේනය ලබාගත් යුද අත්දැකීම් සහ තාක්ෂණය සෞදි අරාබිය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි මැදපෙරදිග රටවල් සමඟ බෙදා ගැනීමට ගිවිසුම් අත්සන් කර ඇති බව ද සෙලෙන්ස්කි මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.














