2019 පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාර සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන්ට එරෙහිව ලබාදුන් අධිකරණ තීන්දුව කතෝලික සභාව පිළිගෙන තිබෙනවා. එහෙත් එම තීන්දුව ප්රහාරය පිටුපස පැවති සියලු කරුණු හෙළි කිරීමේ ක්රියාවලියේ අවසානය ලෙස සැලකිය නොහැකි බව කොළඹ අගරදගුරු පදවියේ ජනසන්නිවේදන අධ්යක්ෂ ජූඩ් ක්රිෂාන්ත ප්රනාන්දු පියතුමා පවසනවා.
වසර ගණනාවක් යුක්තිය අපේක්ෂාවෙන් සිටි වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මෙම තීන්දුව වැදගත් බව සඳහන් කළ එතුමා, ආගම ප්රචණ්ඩත්වය සාධාරණීකරණය කිරීමට යොදා නොගත යුතු බවත් අවධාරණය කළා.
කෙසේ වෙතත්, වරදකරුවන් වූ පුද්ගලයන් මෙම සිද්ධියේ එක් කොටසක් පමණක් බව පෙන්වා දුන් පියතුමා, ප්රහාරයට සහාය දුන් හෝ එය සිදුවීමට ඉඩ හැරිය වෙනත් පුද්ගලයන් සිටියේද යන්න පිළිබඳව විමර්ශන තවදුරටත් සිදු කළ යුතු බව කියා සිටියා.
ප්රහාරය වළක්වා ගැනීමට ප්රමාණවත් බුද්ධි තොරතුරු තිබියදීත් අදාළ නිලධාරීන් ක්රියාත්මක නොවූ බවට චෝදනා කළ එතුමා, එම අසාර්ථකත්වය පිටුපස පුළුල් මැදිහත්වීමක් හෝ වෙනත් අරමුණක් තිබුණේද යන්න සොයා බැලිය යුතු බවද සඳහන් කළා.
පෙර විමර්ශන හා කොමිෂන් සභා නිර්දේශවල හඳුනාගත් පුද්ගලයන්ට එරෙහිව සාක්ෂි මත පදනම්ව තවදුරටත් නීතිමය ක්රියාමාර්ග ගත යුතු බවත්, ප්රහාරයට සහ ඊට අදාළ අසාර්ථකත්වයන්ට වගකිවයුත්තන් පිළිබඳ නිසි විමර්ශන අවසන් වන තුරු යුක්තිය ඉටුවීමේ ක්රියාවලිය සම්පූර්ණ වූ බව සැලකිය නොහැකි බවත් පියතුමා වැඩිදුරටත් ප්රකාශ කළා.














