ඉන්දියානු නිරූපිකාවක සහ රංගන ශිල්පිනියක වූ ට්විෂා ෂර්මාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් ඇයගේ නැන්දම්මා වන හිටපු දිස්ත්‍රික් විනිසුරුවරියක වන ගිරිබාලා සිං අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි භෝපාල් නුවර පිහිටි ඇයගේ නිවසේදී ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශය (CBI) විසින් ඊයේ (28) මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරිණි. ට්විෂා ෂර්මා මීට මාස පහකට පෙර සමර්ථ සිං නැමැත්තා සමඟ විවාහ වූ අතර, මැයි 12 වැනි දින ඇය සිය නිවසේදී මියගොස් සිටියදී හමුවිය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ සැමියා වන සමර්ථ සිං මීට පෙර අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මේ වන විට CBI අත්අඩංගුවේ පසුවේ. ගිරිබාලා සිං අත්අඩංගුවට ගනු ලැබුවේ ඇයට මීට පෙර හිමිව තිබූ අපේක්ෂිත ඇප ලබා දීමේ නියෝගය මධ්‍ය ප්‍රදේශ් මහාධිකරණය විසින් පසුගියදා අවලංගු කිරීමෙන් අනතුරුවය. මෙම නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ:මියගිය ට්විෂා ෂර්මාගේ සිරුර පරීක්ෂා කිරීමේදී මරණයට පෙර සිදුවූ බවට සැකකෙරෙන තුවාල හයක් හඳුනාගෙන තිබේ. ඉන් සමහරක් ඇයගේ සිරුර රෝහලට රැගෙන යාමේදී හෝ මරණය සිදුවීමෙන් පසු ඇති වූ ඒවා නොවන බව වෛද්‍ය වාර්තා පෙන්වා දෙයි.ගිරිබාලා සිං සයිබර් අපරාධ සහ අපරාධ ස්ථාන කළමනාකරණය පිළිබඳ පුහුණුව ලත් හිටපු අධිකරණ නිලධාරිනියක බැවින්, ඇය සාක්ෂි විනාශ කිරීමට හෝ පරීක්ෂණවලට බලපෑම් කිරීමට ඉඩ ඇති බවට CBI බලධාරීන් අධිකරණයට කරුණු දක්වා ඇත.මියයන විට ගැබිනියකව සිටි ට්විෂාට ඇයගේ සැමියා සහ නැන්දම්මා විසින් මානසික පීඩාවන් එල්ල කර ඇති බවත්, නොයෙකුත් චෝදනා නගා ඇයව ගබ්සාවකට ලක් කර ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.විවාහයේදී ලබාදුන් දෑවැද්ද ප්‍රමාණවත් නොවීම සම්බන්ධයෙන්ද මොවුන් ඇයට නිරන්තරයෙන් හිරිහැර කර ඇති බව පවුලේ අය විසින් ගොනුකළ පැමිණිල්ලේ සඳහන් වේ.CBI නිලධාරීන් විසින් ට්විෂා ෂර්මා මියගිය ස්ථානය නැවත පරීක්ෂාවට ලක් කර ඇති අතර, ගිරිබාලා සිං සහ ඇයගේ පුත් සමර්ථ සිං යන දෙදෙනාගෙන්ම ප්‍රශ්න කර සිද්ධියට අදාළ සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීමට කටයුතු කරමින් සිටී.
















