එක්සත් රාජධානියේ අධිකරණ සංඝ නායක ධුරයට ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් සිර දඬුවම් විඳි භික්ෂුවක් පත් කර ඇති බව උවිදු කුරුකුලසූරිය මහතා පවසයි.ඔහු සිය සමාජ ජාල ගිණුමේ දැඩි විවේචනාත්මක සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, මෙම පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැතිනි හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීන් විසින් එම භික්ෂුව වෙත සුභාශිංසන පිරිනමා ඇති බවයි.එම සටහනේ වැඩිදුරටත් දැක්වෙන පරිදි, අදාළ භික්ෂුව 2012 වසරේදී ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් සිර දඬුවම් විඳ ඇති අතර, දරුවන් සමීපයට යාම පවා තහනම් කරමින් ලිංගික අපයෝජකයන්ගේ ලේඛනයට (National sex offenders register – Child Sex Offender) ඇතුළත් කර සිටි අයෙකි.උවිදු කුරුකුලසූරිය මහතා සිය සටහන මගින් ජනාධිපතිවරයා සහ අගමැතිනිය වෙත දැඩි විවේචන එල්ල කරමින් ප්‍රකාශ කර ඇත්තේ, මෙවැනි පසුබිමක් සහිත පුද්ගලයෙකුට රාජ්‍ය නායකයන් විසින් සුභාශිංසන පිරිනැමීම පිළිගත නොහැකි බවයි.තවද, අදාළ සිද්ධියට අදාළව එංගලන්ත අධිකරණයේ ලබා දුන් නඩු තීන්දුව සහ නඩු වාර්තා පිළිබඳව ද ඔහු මෙහිදී මතක් කර දී ඇත. එම වාර්තාවල දැක්වෙන පරිදි, අදාළ භික්ෂුව විසින් බෞද්ධ විහාරයකදී 9 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කිරීමේ බරපතල සිදුවීමක් සම්බන්ධයෙන් කරුණු ගොනු වී තිබේ.
මෙම සිද්ධිය සහ ඒ සම්බන්ධයෙන් ලබා දී ඇති සුභාශිංසන පිරිනැමීම සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයෙන් හෝ අදාළ ආයතනවලින් මෙතෙක් නිල වශයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැත.
















