දිවයිනේ ප්‍රධාන වෙළෙඳපොළ කිහිපයක එළවළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන්වල කැපී පෙනෙන වෙනසක් සිදුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දෛනික මිල වාර්තාව පෙන්වා දෙයි. විශේෂයෙන්ම සැපයුම සීමා වීම හේතුවෙන් දඹුල්ල සහ පිටකොටුව වෙළෙඳපොළවල එළවළු වර්ග කිහිපයක මිල ඉහළ ගොස් ඇති අතර, ඇතැම් ද්‍රව්‍යවල මිල පහත වැටීමක්ද වාර්තා වේ.
මහ බැංකු වාර්තාවට අනුව, නුවරඑළිය සහ බණ්ඩාරවෙල ප්‍රදේශවලින් ලැබෙන සැපයුම සීමා වීම හේතුවෙන් දඹුල්ල වෙළෙඳපොළේ බෝංචි කිලෝවක සිල්ලර මිල රුපියල් 280 සිට රුපියල් 355 දක්වා ඉහළ ගොස් ඇත. මීට අමතරව, දඹුල්ල වෙළෙඳපොළේම ගෝවා කිලෝවක මිල රුපියල් 130 සිට රුපියල් 160 දක්වා ඉහළ ගොස් තිබේ. පිටකොටුව වෙළෙඳපොළේ කැරට් කිලෝවක මිලද රුපියල් 300 සිට රුපියල් 320 දක්වා ඉහළ ගොස් ඇත්තේ රාගල සහ නුවරඑළිය ප්‍රදේශවලින් ලැබෙන සැපයුම අඩුවීම හේතුවෙනි.
මිල ඉහළ යාම් මධ්‍යයේ වුවද, නොච්චියාගම සහ පුත්තලම ප්‍රදේශවලින් සාර්ථක සැපයුමක් ලැබීම හේතුවෙන් පිටකොටුව වෙළෙඳපොළේ අමු මිරිස් කිලෝවක මිල රුපියල් 1,550 සිට රුපියල් 1,300 දක්වා සැලකිය යුතු ලෙස පහත වැටී ඇත. එමෙන්ම දඹුල්ල වෙළෙඳපොළේ අලෙවි වන ආනයනික අල කිලෝවක මිලද රුපියල් 173 සිට රුපියල් 163 දක්වා සුළු වශයෙන් පහත වැටී තිබේ.
උතුරු මුහුදු තීරයෙන් ලැබෙන සැපයුම යහපත් වීම හේතුවෙන් මීගමුව සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළවල සාලයා කිලෝවක තොග මිල රුපියල් 750 සිට රුපියල් 600 – 700 දක්වා පහත වැටී ඇත. කෙසේ වෙතත්, මීගමුව වෙළෙඳපොළේ පරව් මාළු කිලෝවක මිල රුපියල් 1,960 සිට රුපියල් 2,700 දක්වා විශාල ලෙස ඉහළ ගොස් ඇති බවද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.
සහල් මිල ගණන් බොහෝ දුරට ස්ථාවර මට්ටමක පවතින අතර, ඇතැම් වෙළෙඳපොළවල රතු කැකුළු සහ නාඩු සහල් මිලෙහි සුළු වෙනස්වීම් දක්නට ලැබෙන බවද එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි. මේ අතර සිල්ලර වෙළෙඳපොළේ බිත්තරයක මිල රුපියල් 46 – 48 දක්වා ඉහළ ගොස් තිබේ.
















