‘කසගල ග්‍රීන් ප්ලාන්ටේෂන් (පුද්ගලික) සමාගම’ (Kasagala Green Plantation (Private) Limited) ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට ලක්වන ආයතනයක් බවට එම සමාගමේ අධ්‍යක්ෂවරයකු විසින් රූපවාහිනී වැඩසටහනකදී කරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුලු එකක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිල වශයෙන් නිවේදනය කරයි. මහ බැංකු සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් ඊයේ (ජූනි 12) නිකුත් කරන ලද විශේෂ නිවේදනයක දැක්වෙන්නේ, අදාළ සමාගම සම්බන්ධයෙන් මේ වන විට විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි.
පසුගිය ජූනි 08 වැනිදා ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) විකාශය වූ “පිණි වියන” වැඩසටහනට එක්වෙමින් කසගල ග්‍රීන් ප්ලාන්ටේෂන් සමාගමේ අධ්‍යක්ෂ මල්වත්තගේ රංජිත් නන්දන පීරිස් මහතා ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ සමාගම මහ බැංකුවේ නියාමනයට ලක්වන බවත්, සෑම මාස හයකට වරක්ම මහ බැංකුවට අවශ්‍ය තොරතුරු සහ ලේඛන ලබාදෙන බවත්ය.
රංජිත් නන්දන පීරිස් මහතා විසින් කරන ලද මෙම ප්‍රකාශය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිල වශයෙන් සහ තරයේ ප්‍රතික්ෂේප කරනු ලබයි. එම තොරතුරු සත්‍ය විරෝධී, මහජනතාව නොමඟ යවන සුලු සහ කිසිදු නීතිමය පදනමකින් තොර ප්‍රකාශ බව මහ බැංකුව අවධාරණය කරයි. විද්‍යුත් සහ සමාජ මාධ්‍ය ඔස්සේ මෙම වැඩසටහන නැරඹූ මහජනතාවට එම ප්‍රකාශය නිසා බරපතළ හානියක් සිදුවීමේ අවදානමක් පවතින බවද මහ බැංකුව පෙන්වා දෙයි.
මේ වන විට කසගල ග්‍රීන් ප්ලාන්ටේෂන් සමාගමේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ (FBA) ප්‍රතිපාදන යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම සමාගම මුදල් ව්‍යාපාර පනතේ 2 වැනි වගන්තිය උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස මුදල් ව්‍යාපාර සිදුකර තිබේද නැතහොත් මහජනතාවගෙන් තැන්පතු ලබාගෙන තිබේද යන්න තහවුරු කරගැනීම සඳහා මෙම විමර්ශනය ක්‍රියාත්මක වන බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
















