මාවනැල්ල නගරයේ ආපනශාලාවකින් කොත්තු අනුභව කළ පුද්ගලයන් හය දෙනෙකුට ඇති වූ අසාත්මිකතාවක් (ආහාර විෂවීමක්) හේතුවෙන් අත්අඩංගුවට ගත් ආපණ ශාලා හිමිකරුට රුපියල් 40,000ක දඩ මුදලක් ගෙවන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත් නිලන්ත විමලරත්න මහතා ඉකුත් 9 වැනිදා නියෝග කළේය. මෙලෙස දඩ නියම වූයේ කිරිංගදෙණිය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි ආපණ ශාලා හිමිකරුවෙකුටය.
මාවනැල්ල-හෙම්මාතගම මාර්ගයේ පිහිටි මෙම ආපනශාලාවෙන් පසුගිය ජූනි 4 වැනිදා බිත්තර, කුකුළු මස් සහ හරක් මස් කොත්තු මිලදී ගෙන අනුභව කළ බෙලිගම්මන, කිරිංගදෙණිය, වැලිගල්ල සහ බදුල්ල ඇල්ල ප්‍රදේශවල පිරිසකට මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දීමට සිදු විය. කොත්තු අනුභව කර පැය දෙකක් පමණ ගත වන විට ඔවුන්ට බඩේ කැක්කුම, වමනය සහ පාචනය සෑදී මාවනැල්ල රෝහලට ඇතුළත් කර තිබූ බව මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාලය අධිකරණයට ප්‍රකාශ කළේය.
රෝහල්ගත වූවන් කළ දැනුම්දීමකට අනුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත ලියනගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක චමිල කස්තුරිආරච්චි යන මහත්වරුන් විසින් වහාම විමර්ශනයක් සිදු කර ආපණ ශාලා හිමිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත්හ. එහිදී වගඋත්තරකරුට දඩ නියම කළ මහේස්ත්‍රාත්වරයා, ආපණ ශාලාවේ සියලු ස්ථාන වහාම පිරිසිදු කර ඒ පිළිබඳ වාර්තාවක් එළඹෙන සැප්තැම්බර් 22 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට නියෝග කළේය.
















