පසුගිය දිනක කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු කටයුතු ආරම්භ වීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් කොටස් වෙළෙඳපොළ බලධාරීන් විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
එම සිදුවීමට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ 2026 ජූනි 15 දිනැති අංක 02-06-2026 දරන මධ්‍යම තැන්පතු ක්‍රම චක්‍රලේඛයයි. එම චක්‍රලේඛයට අනුව, වසර 15කට වැඩි කාලයක් අක්‍රීයව පැවති මධ්‍යම තැන්පතු ක්‍රම ගිණුම් අත්හිටුවීමට මධ්‍යම තැන්පතු ක්‍රමය විසින් 2026 ජූනි 30 වන දින පියවර ගන්නා ලදී.
කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, දැනට සක්‍රීය මට්ටමේ පවතින ඇතැම් මධ්‍යම තැන්පතු ක්‍රම ගිණුම් ද අතපසු වීමකින් අත්හිටුවීමට ලක්ව ඇත. මෙම ගැටලුව ඊයේ (01) දින පූර්ව ගනුදෙනු සැසියේදී හඳුනා ගැනීමත් සමඟ, එම ගිණුම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා වෙළඳපොළ වෙන්දේසි කැඳවුම් සැසිය දීර්ඝ කිරීමට බලධාරීන් පියවර ගත්හ.
මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් වෙළෙඳපොළ ගනුදෙනු කටයුතු එදින පෙරවරු 11.00ට ආරම්භ වූ අතර, විධිමත් හා සාධාරණ වෙළෙඳපොළක් සහතික කිරීම සඳහා මෙම තීරණය අත්‍යවශ්‍ය වූ බව ඔවුන් අවධාරණය කරයි. ගනුදෙනු ඇරඹීම ප්‍රමාද වීම නිසා ආයෝජකයින්ට සහ අනෙකුත් පාර්ශ්වයන්ට සිදුවූ අපහසුතාව පිළිබඳව කොටස් වෙළෙඳපොළ බලධාරීන් සිය බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටී.















