27 April 2024
#දේශීය

බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය සැමරෙයි

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් සකස් කරන ලද අතුරු නිර්දේශ සහිත අතුරු වාර්තාවක් එළි දක්වමින් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය ලබන 30 වන දින අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් සැමරීමට නියමිතය.

“අතුරුදහන් කිරීම්වලට ඉඩ නොතබමු” යන තේමාව යටතේ එදින ප.ව.3.00 සිට ප.ව.5.00 දක්වා කොළඹ 07, ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ පිහිටි ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදි පැවැත්වෙන මෙම සැමරුම් උත්සවයට අතුරුදහන් වූ තැනැත්තන්ගේ ඥාතීන් සහ සිවිල් සමාජයේ ක්‍රියාධරයන් සහභාගී වෙති.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ විසඳුම් සෙවීමේ අරගලයට වැදගත් ජයග්‍රහණයක් වූ 2018 අංක 5 දරන බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුති පනත සම්මත කිරීම සහ 2018 පෙබරවාරි මස අතුරුදන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලය පිහිටුවීම නිසා මෙම සැමරුම විශේෂත්වයක් ගනී.

මෙදින ප්‍රධාන දේශනය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය වන ආචාර්ය දීපිකා උඩගම මහත්මිය විසින් පවත්වනු ලැබේ. මීට අමතර වශයෙන් අතුරුදන් වූ තැනැත්තන්ගේ ඥාතීන්ගේ නියෝජිතයින් ද එදින රැස්වීම ඇමතීමට නියමිතයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *