හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් රචිත ‘නැත්ත වෙනුවට ඇත්ත’ ග්‍රන්ථය මගින් බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කර ඇති බව තීන්දු කරමින්, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය මීට පෙර ලබාදුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්ථිර කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ පැවති මෙම අභියාචනයෙන් අනතුරුව, විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් වාණිජ මහාධිකරණ තීන්දුව තහවුරු කළේය.
මෙම නඩු තීන්දුවට අනුව විමල් වීරවංශ මහතා විසින් ටිල්වින් සිල්වා මහතාට රුපියල් මිලියනයක වන්දියක් ගෙවිය යුතුය. එසේම ටිල්වින් සිල්වා මහතාට අයත් ලේඛන ඇතුළත් කර ඇති අයුරින් ‘නැත්ත වෙනුවට ඇත්ත’ ග්‍රන්ථය තවදුරටත් මුද්‍රණය කිරීම, බෙදාහැරීම සහ අලෙවි කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වළකාලනු ලැබීය. විමල් වීරවංශ මහතා ජනතා විමුක්ති පෙරමුණේ සිටියදී පක්ෂ විධායක මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනා සහ අදහස් ටිල්වින් සිල්වා මහතාගේ බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය වන පරිදි මෙම ග්‍රන්ථයට ඇතුළත් කර ඇති බව අධිකරණය හමුවේ ඔප්පු වී ඇත.
වාණිජ මහාධිකරණ විනිසුරුවරයා කරුණු නිසි ලෙස අධ්‍යයනය කරමින් මෙම තීන්දුව ලබාදී ඇති බැවින් එම නියෝගයට මැදිහත් වීමට අවශ්‍යතාවක් නොමැති බව විනිසුරු මඬුල්ල සඳහන් කළේය. වගඋත්තරකාර ටිල්වින් සිල්වා මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේය.
















